2014දී ලෝක ධනවාදය: 200 කෝටියක් දුප්පත් කමේ හා 100 කෝටියක් සාගතයේ

imagesCA0TJ952ජූලි 24දා නිකුත් කල එක්සත් ජාතීන්ගේ සංවර්ධන වාර්තාවට අනුව, බිලියන 2.2 කට අධික ජනගහනයක් “එක්කෝ දුප්පත් කමේ හෝ ඒ අද්දර” ජීවත් වෙති. මිලියන 842ක් වන ලෝක ජනගහනයෙන් සියයට 12ක් උග‍්‍ර සාගතයට මුහුනපා සිටින අතර බිලියන 1.2ක ජනතාවක් දිනකට ඩොලර් 1.25කට සමාන හෝ ඊට අඩු ආදායමක් ඇතිව පන ගැටගසා ගන්නා තත්වයක් පවතින බව ද එම අධ්‍යයනය හෙලි කරයි.

ගෝලීය දුක් වේදනා හා අගහිඟකමේ මෙම තත්වය, සම්පත්වල කිසිදු උග‍්‍ර හිඟයක් නිසා පවතින්නක් නොවේ. සෑම පිරිමියෙක්, ගැහැනියක් හා ලමයෙක් සඳහා යහපත් ජීවන තත්වයක් සැලසීමට තරම් සෑහෙන සම්පත් ලෝක ආර්ථිකයෙන් සම්පාදනය කෙරේ. එහෙත් ධනය බෙදාහැරීමේ විෂමතාවය මෙය කල නොහැකි තත්වයක් නිර්මානය කර තිබේ. ජනගහනයේ පහල ආදායම් ලබන බිලියන 3.5කගේ වත්කමට සමාන පංගුවක් පොහොසත්ම මිනිසුන් 85 දෙනා විසින් හිමිකර ගනියි.

“මානව ප‍්‍රගමනය පවත්වා ගැනීම-හානි අවමකර ගැනීම හා නම්‍යතාවය ගොඩනැගීම” යන මාතෘකාව යටතේ පලකොට ඇති වාර්තාව, කිසිසේත්ම ගැටලූ ඇතිකිරීමේ අදහසක් සහිත ප‍්‍රකාශනයක් නොවේ. ඊට සපුරා වෙනස් ආකාරයකට එය ලියා ඇත්තේ, සංඛ්‍යාත්මක භාෂාවකින් හා දූවිලි තරම් වියලි වචන හරඹයක සම්මිශ‍්‍රනයක් ලෙසය.

වාර්තාව ධනවාදය විසින් නිර්මානය කර ඇති තත්වය විස්තර කරයි. සමූහ දුගී භාවය, අගහිඟකම්, සමාජ අසාධාරනය, අසමානතාවය, පීඩාව, ගැන කථා කරන නමුත් ධනවාදය ගැන සඳහනක් නැත. හුදෙක් ලෝක ජනතාව ජීවත්වන්නේ කුමන ආර්ථික ක‍්‍රමයක් යටතේදැයි සඳහන් නොවන නිසාම, කිසිදු විකල්පයක් ගැන ද සාකච්ඡාවක් ඇත්තේ නැත.

එහෙත් සාධක පවතින්නේය, වඩාත් වැදගත් කරුනු සමහරක් පහතින් දැක්වේ-

* බිලියන 1.5ක් තරම් වන ජනතාවක් “සෞඛ්‍ය, අධ්‍යාපනය හා ජීවන තත්වයන්ගේ ඉහවහා යන අගහිඟකම් සහිතව ජීවත් වන බැවින්, බහුවිධ මට්ටමින් දුප්පත්ය”

* තවත් මිලියන 800ක් දෙනා ජීවත් වන්නේ දුප්පත්කම අද්දරය. “පසුබෑම් සිදුවන කල දුප්පත් කමට ඇද වැටීමේ හැකියාවෙන් යුක්ත”

* උග‍්‍ර දුගීකම විශාල වශයෙන් සංකේන්ද්‍රනය වී ඇත්තේ, දකුනු ආසියාවේය. “එහි ජනගහනයෙන් සියයට 71ට වඩා වැඩි කොටසක් වන මිලියන 800කට වඩා දුප්පතුන් වන අතර මිලියන 270ක් දුප්පත් කමේ අද්දර සිටියි.”

* සංවර්ධනය වන රටවල ආදායම් අසමානත්වය, 1990-2010 අතර කාලයේ සියයට 11න් ඉහල ගොස් තිබේ.

* 2013 වසරේ ජීවන තත්වයේ තියුනුම පහත වැටීම සිදුව ඇත්තේ, මධ්‍යම අප‍්‍රිකානු සමූහාන්ඩුව, ලිබියාව හා සිරියාවේය. එම රටවල් තුන එක්සත් ජනපද හා ප‍්‍රන්ස අධිරාජ්‍යවාදයේ මිලිටරි මැදිහත්වීම් වලට හා දේශපාලන යටත් කිරීමට ගොදුරුවිය.

* 18 වසරක කාලය තුල ඉහලම අගය සටහන් කරමින්, මිලියන 45ක් පමන දෙනා, 2012 අවසානය වන විට ගැටුම් හෝ අතවර නිසා බලහත්කාරයෙන් අවතැන් කර ඇත. ඔවුන්ගෙන් මිලියන 15කට වැඩි සංඛ්‍යාවක් සරනාගතයින්ය.

* ලෝක ජනගහනයෙන් සියයට 5ක් පමන වන ස්වදේශික ජනතාව, ලෝකයේ දුප්පතුන්ගෙන් සියයට 15ක් ලෙස ගනන් ගන්නා අතර ඉන් තුනෙන් එකක්ම ගම්බද දුගීන්ය.

* වයස අවුරුදු 60 හෝ ඊට වැඩි වයස්ගත ජනගහනයෙන් සියයට 46ක් දෙනා ශාරීරික හෝ මානසික ආබාධයන් එකකින් හෝ කිහිපයකින් හෙම්බත්ව සිටිති.

තුන්වන ලෝකය ලෙස නිතර සඳහන් කෙරෙන සංවර්ධනය වන රටවල ලමුන්ගේ තත්වය කෙරෙහි වාර්තාවේ විශේෂ අවධානය යොමුවී ඇත. මේ අයගෙන් “සියයකට 7 දෙනෙක් අවුරුදු පහට වඩා වැඩි කාලයක් ජීවත් නොවේ. 50කගේ උපත් ලියාපදිංචිකර නැත. 68කට ලදරු අධ්‍යාපනය නොලැබේ. 17ක් කිසිදිනෙක ප‍්‍රාථමික අධ්‍යාපනය ලබා නැත. 30ක් ප‍්‍රමානයෙන් කුඩාය, වර්ධනයවී නැත. 25ක් දුප්පත්කමේ ගිලී සිටිති.”

සිය සමස්ත මානව සංවර්ධන දර්ශකයේ සංඛ්‍යා ඉහල නගින තතු හමුවේ වාර්තාව, ශුභවාදී තත්වයක් පෙන්වීමට උත්සාහ කල ද එය බෙහෙවින්ම සංඛ්‍යාත්මක මිථ්‍යාවකි. සෞඛ්‍ය දත්ත සැලකිය යුතු තරමේ ප‍්‍රගතියක් අත්කරගෙන ඇත්තේ, විද්‍යාත්මක දියුනුව හා ඒවා දුප්පත් රටවලට ගලා යාම නිසාය. දර්ශකයේ ගනන් බැලීම් තුල, ආදායමේ සැලකිය යුතු පරිහානිය, නරක අතට හැරෙන ආර්ථික අසමානතාවය හා අධ්‍යාපනයේ ද අනෙකුත් සමාජ සේවාවල ද පල්වීම වසං කරයි.

ප‍්‍රවනතාවය ඇත්තේ ප‍්‍රතිවිරුද්ධ දිසාවට බව පිලිගන්නා අතරම වාර්තාව, ලෝක පරිමාන සමාජ ප‍්‍රතිසංස්කරනයේ වඩා වේගවත් ප‍්‍රතිපත්තියක් සඳහා ආයාචනය කරයි. එනම්, සෑම රටකම පාහේ පාලක පැලැන්තීන් පොදු පිරිවැය කපාහැරීම හා ජනතාවගේ ජීවන තත්වයන්ට ආධාරක වන කාලයක් තිස්සේ පවතින වැඩසටහන් කප්පාදු කිරීමය.

“සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුලු මූලික සමාජ සේවා, විරැකියා හා විශ‍්‍රාමික රක්ෂනය ඇතුලු ශක්තිමත් සමාජ ආරක්ෂාව හා පූර්න සේවා නියුක්තිය සඳහා කැපවීම කරා සාර්වත‍්‍රික ප‍්‍රවිෂ්ටයක්” වෙනුවෙන් වාර්තාව කරුනු දක්වයි. එහෙත් එය, ආර්ථික විසංධිවීමක්, ස්වාභාවික විපත් හෝ දේශපාලන ප‍්‍රචන්ඩත්වය පැතිරයාම වැනි කුමන වර්ගයක හෝ තත්වයකට ගොදුරුවීමේ හැකියාව හමුවේ, “ගෝලීය ජනගහනයෙන් සියයට 80කට තරම් සමාජ ආරක්ෂාවක් නොමැතිකම” පිලිගනියි.

එක් තැනකදී වාර්තාව මෙසේ ප‍්‍රකාශ කරයි.

“මූලික සමාජ සේවාවන් පිලිබඳ සාර්වත‍්‍රික පූර්වඅවශ්‍යතා පිලිබඳ කාරනය පලමුවත්, පරම වශයෙනුත් රඳා පවත්නේ, සියලු මිනිසුන්ට තමන් අගය කරන ජීවිතයක් සඳහා පවතින හිමිකම, යහපත් ජීවිතයක් සඳහා අවශ්‍ය සමහර මූලික කරුනු වෙත පිවිසීම, මිනිසුන්ට ගෙවීමට ඇති හැකියාව මගින් විසංධිවී නොයෑමේ නියාමය මතය. එවන් සේවා බෙදාහැරීමේ මාර්ග රටවල්වල සන්දර්භය හා අවස්ථාවන් සමග වෙනස් විය හැකි තත්වය හමුවේ, සෑම සාර්ථක අත්දැකීමකටම පොදු එක් අදහසක් ඇත. එනම්, පුරවැසියන් හා රාජ්‍යය අතර මූලික සමාජ ගිවිසුම තුල, සමස්ත ජනගහනයේම සමාජ සේවා පුලුල් කිරීමේ මූලික වගකීම රජය සතුවන බවයි.”

මේ ප‍්‍රකාශය පෙන්නුම් කරන්නේ, වාර්තාව සැකසීමට සම්බන්ධවූ අයට යහපත් අභිලාශයන් තිබුනේවී නමුත් ඔවුන්ට ලෝක ධනවාදයේ දේශපාලන ගතිකය වටහාගැනීමට නොහැකිවී ඇති බවයි. පාලක පැලැන්ති පිලිගන්නේ රාජ්‍යය සඳහා එකම් “මූලික වගකීමක්” පමනක් බවයි. එනම්, ලෝක ජනතාවගෙන් අති මහත් බහුතරයකට විරුද්ධව, යුද්ධය හා ආඥාදායකත්වය ද ඇතුලු ඕනෑම ක‍්‍රමයකින් මූල්‍ය වංශාධිපතිත්වයේ අවශ්‍යතා රැුකගැනීම යන්නයි.

වාර්තාව පොර බදන්නේ සංවර්ධනය වන රටවල බහුතර ජනගහනය මුහුනපා සිටින ජීවන තත්වයන් සමග වන අතර විශේෂයෙන්ම එක්සත් ජනපදය හා යුරෝපීය සංගමය පිලිබඳව ගොනුකර ඇති සංඛ්‍යා සටහන්හි සමහර සිත් කාවදින තොරතුරු ද ඇතුලත් කර තිබේ.

වාර්තාවේ මානව සංවර්ධන දර්ශකය තුල එජ පස්වන තැන හිමිකරගන්නා නමුත් අසමානතාවය සැලකිල්ලට ගන්නා කල එයට හිමිවන්නේ 23 වන තැනය. ආදායම් බෙදී යාම, සෞඛ්‍ය සේවා හා අධ්‍යාපනය වෙත පිවිසීම යන කරුනු අදාල කරගත් කල, ඉහලම රටවල් 50 අතර සමස්ත අසමානතාවය අතින් එජට වඩා පහලින් සිටින්නේ චිලී හා දකුනු කොරියාව පමනි. එම රටවල් දෙකම දශක ගනනාවක් තිස්සේ පාලනය කර ඇත්තේ කුරිරු මිලිටරි ආඥාදායකත්වයන් විසිනි.

ජීවිතාපේක්ෂාව අතින් ඉහලම රටවල් 50 අතර එජ සිටින්නේ 43 තැනය. ආදායම් අසමානතාව තුල යලිත් එරට සිටින්නේ චිලී රටට පමනක් ඉහලින්ය. රටවල් 50අතර අධ්‍යාපනය තුලදී පමනක් එජ 25වන තැන පසුවෙයි.

මානව සංවර්ධනයේ සෑම මිනුමක් සම්බන්ධයෙන්ම පාහේ යුරෝපීය රටවල්, විශේෂයෙන්ම ජර්මනිය හා ස්කැන්ඩිනේවියානු රටවල් ඉහලම තැන දරයි. එහෙත් වාර්තාව, 2008 මූල්‍ය අර්බුදයේ පටන් ගතවූ සය වසරේ බැරෑරුම් ප‍්‍රවනතා සැලකිල්ලට ගනියි. ආන්ඩු “පෞද්ගලික අංශයේ දැවැන්ත නය, විශේෂයෙන්ම දුෂ්කරතාවට පත්වූ බැංකුවල නය, සඳහා වගකීමට කර ගැසීම” නිසා ද “පසුබෑමේ තතු හමුවේ බදු ආදායම් හීනවීම” නිසා ද බොහෝ රටවල් මූල්‍ය අර්බුදයන්ට පැටලූනු අතර “තම ප‍්‍රතිපත්ති යොමුව ඉක්මනින්ම කප්පාදු පියවරයන් කරා මාරු කරන” ලදී.

“2008 හා 2012 අතර කාලයේ පොදු දල ස්ථාවර ප‍්‍රාග්ධන සංයුතිය අයර්ලන්තයේ සියයට 65න් ද ග‍්‍රීසියේ හා ස්පාඤ්ඤයේ 60න් ද පෘතුගාලයේ 40න් හා ඉතාලියේ සියයට 24න් ද පහත වැටුනි. රටවල් 17න් සැදුම් ලත් යුරෝ කලාපයේ සමස්ත පොදු ආයෝජනය 2009දී යුරෝ බිලියන 251 සිට, 2012 වන විට බිලියන 201 දක්වා සියයට 20ක නාමික පරිහානියකට මුහුන දුන්නේය. මෙය, 1970 ගනන්වල දල දේශීය නිෂ්පාදිතයට අනුව ආයෝජනයේ පංගුවෙහි එක දිගට ඇතිවූ පහල වැටීමෙන් පසුව දක්නට ලැබෙන තත්වයකි. ග‍්‍රීසිය, අයර්ලන්තය, පෘතුගාලය හා එක්සත් රාජධානිය ද ඇතුලුව ආර්ථික සහයෝගිතාවය හා සංවර්ධනය පිලිබඳ සංවිධානයට අයත් රටවල සෞඛ්‍ය වියදම් 2009-2011 අතර තුනෙන් එකකින් පහත වැටුනි.

සැබවින්ම මෙම ප‍්‍රතිපත්ති, ආර්ථික නිමැවුමට වල කපමින් ද විරැකියාව ඉහල නංවමින් ද ආර්ථික අසමානතාවය වැඩිකරමින් ද හිඟ අයවැය තවත් නරක අතට හරවා ඇත. “වත්මන් කප්පාදු පියවර මගින් යුරෝපීය රටවල් අඩකටත් වැඩි ගනනක දුපත්කම ඉහල නංවා ඇත. මෙම කන්ඩායම් වලින් වැඩිම අවදානමට ලක්ව ඇත්තේ ලමුන්, සංක‍්‍රමනිකයින් හා සංක‍්‍රමන පසුබිමක් සහිත ජනතාවන්, වාර්ගික සුලූතරයන් හා ආබාධිත තත්වයේ පසුවන අයයි.”

එහෙත් වාර්තාව, වැඩකරන ජනතාවට මෙවන් රුදුරු ප‍්‍රහාරයන්ට නියෝග පනවන පන්ති අවශ්‍යතාවන් කෙරෙහි සැලකිල්ලක් නොදක්වන අතර සිය ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමේදී මෙම රටවල ආන්ඩු, වඩාත් මානවවාදී විකල්පයන් ගැන යලි සිතා බැලිය යුතු බව පවසනවාට වැඩි කිසිවක් යෝජනා කිරීමට අසමත් වෙයි.

මෙම ඉදිරිදර්ශනයේ පරිපූර්න ආවෘත අන්තරය නොවැලැක්විය හැකිය. ඒ, 2016දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් සිය නිල කාලය අවසන් කිරීමෙන් පසුව එම තනතුරට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින, නවසීලන්තයේ හිටපු සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර දක්ෂිනාංශික අගමැති හෙලන් ක්ලාක් ප‍්‍රධානත්වය දරන එජා සංවර්ධන වැඩසටහනෙහි පොදු අධීක්ෂනය යටතේ එය සකස්කර ඇතැයි සැලකිල්ලට ගන්නා කලය.

වාර්තාවේ පිලිගැනීමට ලක්වූ දුසිම් භාගයක් තරම් වන තවත් “විශේෂ දායකත්වයන්” අතර මයික්‍රොසොෆ්ට් ආරම්භක ප‍්‍රකෝටිපති බිල් ගේට්ස්, ලයිබීරියාවේ එජ පිටුබලය ලබන එලන් සර්ලීෆ් ජොන්සන්, චිකාගෝ විශ්වවිද්‍යාලයේ අර්ථශාස්ත‍්‍රඥ ජේම්ස් හෙක්මන් හා ලෝක බැංකුවේ හිටපු ප‍්‍රධාන අර්ථශාස්ත‍්‍රඥ ජෝසෆ් ස්ටිග්ලිස්ට් ද වේ.

පිටු 239න් සමන්විත ලේඛනයේ කිසිම තැනක “ධනවාදය” හා “අධිරාජ්‍යවාදය” යන වචන සඳහන් නොවුන ද සංවර්ධන වාර්තාව, ලාභ පද්ධතිය චෝදනාවට ලක් කෙරෙන බොහෝ අමුද්‍රව්‍ය සම්පාදනය කරයි.

[උපුටා ගැනීම ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන්]

Prev Next