පාරිසරික

දේශපාලකයින්ගේ දැඩි විරෝධය හේතුවෙන් දුම්බර අඩවිය නැවතත් අනතුරේ

User Rating: / 1
PoorBest 

1නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ අනවසර එනසාල් වගාකරුවන් ඉවත් කිරීම ස`දහා අධිකරණයෙන් ලබා දුන් නියෝග ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මාතලේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති කපිල බණ්ඩාර හේන්දෙනිය හා මාතලේ දිස්ත‍්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල යන මහත්ම මහත්මීන් කටයුතු කිරීම හේතුවෙන් දුම්බර අඩවිය ආරක්ෂා කිරීම ස`දහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නීතිය ක‍්‍රියාත්මක කිරීමේ දී දැඩි ගැටළුකාරී තත්ත්වයක් මතු ව තිබේ. 2014 අපේ‍්‍රල් මස 25 වන දින මාතලේ දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැුස්වීමේ දී නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ නීති විරෝධි ලෙස හා හානි කර අන්දමින් පවත්වා ගෙන යන එනසාල් වගා බිම් ඉවත් කිරීමට වන සංරක්ෂණ නිලධාරින් ගන්නා ක‍්‍රියා මාර්ග විවේචනය කරමින් එම ක‍්‍රියාවලිය නතර කිරීමට මේ පිරිස විසින් දැඩි බලපැම් එල්ල කර තිබේ. එපමණක් නොව මාතලේ ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තර්ජනය කර ඇත්තේ එනසාල් වගා කරුවන්ට නකල්ස් සංරක්ෂිත වනාන්තර තුළ නීති විරෝධී ලෙස එනසාල් වගාබිම් පවත්වාගෙන යාමට ඉඩ ලබා නොදෙන්නේ නම් එම නිලධාරීන්ට දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවට සහභාගී වීමට අවස්ථාව ලබා නොදී පහර දී පන්නා දමන බව ය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ පොදු ජනතාවගේ සම්පත් වත්මන් හා අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කොට වැඩි දියුණු කිරීම ස`දහා ක‍්‍රියාත්මක විය යුතු රජයේ අමාත්‍යවරුන් මෙලෙස අධබාලයන් ලෙස කටයුතු කිරීමෙන් පෙනී යන්නේ ලංකාවේ අනාගත ජෛව සම්පත්වල පැවැත්ම කෙතරම් අභියෝගයකට ලක් වී ඇති ද යන්න ය. මුළු මහත් ලංකාවට ම හිමි ඊට ම අනන්‍ය සුවිශේෂි ජෛව සම්පත් අති බහුතරයක් දරා සිටින දුම්බර නැතහොත් නකල්ස් සංරක්ෂිත වනාන්තරය දේශපාලන හෙන්චයියන් කිහිපදෙනෙකුගේ ආර්ථික ප‍්‍රතිලාභ වෙනුවෙන් විනාශ කිරීමට උඩගෙඩි දීම කණගාටුවට කරුණකි. පොදු ජන ඡුන්දයෙන් මහජන නියෝජිතයන් බවට පත් වූ මෙම පුද්ගලයන් තම හිතවතුන් කිහිපදෙනෙකුගේ පටු අරමුණු වෙනුවෙන් පෙනී සිටීම ලැජ්ජාවට කරුණකි. එවන් විනාශයන් ස`දහා මහජන මුදලින් වැටුප් ලබන දිස්ත‍්‍රික් ලේකම්වරිය වැනි දේශපාලන ගැති රාජ්‍ය නිලධාරීන් මන්දබුද්ධිකයන් සේ කටයුතු කිරීම පිළිබ`ද ව අප කණගාටු වෙමු.

මේ තත්ත්වය හේතුවෙන් නකල්ස් සංරක්ෂිත ප‍්‍රදේශයේ ඉහළ කඳුකර වනාන්තර පද්ධතිවල පැවැත්මට හා එහි ජෛව ප‍්‍රජාවගේ පැවැත්මට දරුණු තර්ජන උද්ගත වෙමින් පවතී. අධිකරණ නියෝග අභියෝගයට ලක් කරමින් දේශපාලකයින් ගේ කූට උවමනාවන් ක‍්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන බලපුළුවන්කාරයින් හා මහා පරිමාණ ජාවාරම්කාරී ව්‍යාපාරිකයින් විසින් පවත්වාගෙන යන මේ එනසාල් වාඩි සාධාරණීකරණය කිරීම යනු අප රටේ මිල නොහැකි සම්පතක් විනාශ කිරීමට උඩගෙඩි දීමකි.

එනසාල් වගා බිම් පවත්වාගෙන යෑම සඳහා හා ඒවා තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා නකල්ස් කඳුකරයේ යටි වගාව මේ මොහොත වන විට ද සම්පූර්ණයෙන් ම ඉවත් කරමින් පවතී. මේ හේතුවෙන් සිදුවන පාංශු ඛාදනය හා එසේ සේදී යන රොන්මඩ මහවැලි ගඟ ඔස්සේ ගලා ගොස් ජලාශවල තැන්පත් වීමෙන් ඇති වන විනාශය අති මහත් ය. එපමණන් නොව එනසාල් වියළීම සඳහා නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ දැවමය ශාක බහුල ව කැපීම සිදු කරයි. එම දැව යොදා ගනිමින් එනසාල් වාඩිවල එනසාල් වේලීම සිදු කෙරේ. මේ හේතුවෙන් සංරක්ෂිත වනාන්තරයේ පැවැත්මට සිදුවන බලපෑම ද ඉතා විශාල ය.

නකල්ස් කඳුකරය යනු අප රටේ ජෛව හදවතකි. ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙස, ජෛව සම්පත් අති බහුතරයක් ආරක්ෂා කරමින් ඇති මේ වනාන්තර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අප රටේ පාලකයන්ට නොහැකි වුවහොත් සිදු වන්නේ වියළි කලාපයේ කෘෂිකරමාන්තය සම්පූර්ණයෙන් ම විනාශ කර දැමීමකි. වියළි කලාපයේ ජල සුරක්ෂිතතාවයේ සැලකිය යුතු කාර්ය භාරයක් මෙන්ම වර්ෂාපතනය නිසි පරිදි පවත්වාගෙන යෑමට මේ වනාන්තර පද්ධතිය දක්වන දායකත්වය අති මහත් ය.

ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 0.32% ක් පමණ වන දුම්බර (නකල්ස්) අඩවියේ මුළු ලොවින් ම මෙහි පමණක් වාර්තා වන ශාක විශේෂ 6 ක්, පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 17 ක් හා අපෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 5 ක් වෙති. එපමණක් නො ව මහවැලි ගෙඟ් පෝෂක බිම් අතුරින් 30% ක් ආවරණය වන්නේ ද දුම්බර අඩවියෙනි. එවන් සුවිශේෂත්වයක් හිමි දුම්බර අඩවියේ ආරක්ෂාව තහවුරු කිරීම සිදු කළ යුතු අවධියක දුම්බර අඩවිය පුරා එනසාල් වගාබිම් හා එනසාල් වාඩි පවත්වාගෙන යමින් දුම්බර අඩවිය වැනසීමේ මහා මෙහෙයුමක් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අනුග‍්‍රහය යටතේ නැවතත් ක‍්‍රියාත්මක වීම කණගාටුවට කරුණකි. හෙක්ටයාර 21,000 ක් පමණ ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත ව ඇති දුම්බර කඳුකරය මධ්‍යම පළාතේ මහනුවර දිස්තී‍්‍රක්කයේ මිණිපේ, උඩදුම්බර, පාතදුම්බර හා පන්විල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ සහ මාතලේ දිස්තී‍්‍රක්කයේ උකුවෙල. රත්තොට, ලග්ගල, පල්ලේගම හා විල්ගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහේ ව්‍යාප්ත ව තිබේ. 2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 3අ(1) වගන්තිය යටතේ 2000 මැයි මස 05 වන දින අංක 1130/22 දරන ගැසට් නිවේදනය මඟින් දුම්බර කඳුකරයේ වනාන්තර හෙක්ටයාර 17825 ක් පමණ වන භූමි ප‍්‍රමාණයක් ලංකාවේ ප‍්‍රථම සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදී. සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කළ භූමියේ පෞද්ගලික ඉඩම් හා වෙනත් රජයේ ඉඩම් හෙක්ටයාර 2000 ක් පමණ වේ. එ්වා මේ වන විට ක‍්‍රමාණුකූල ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතී. එහෙත් එහි මන්දගාමි ස්වරූපය හා වන්දි ගෙවීම්වල ප‍්‍රමාද වීම් හේතුවෙන් මේ වනාන්තර ඉඩම් පවරා ගැනීමේ කටයුතු ව්‍යාකූල තත්ත්වයට පත් ව තිබේ. පවරා ගැනීමට යෝජිත බොහෝ ඉඩම්වල එනසාල් වගාබිම් හා එනසාල් වාඩි පවත්වාගෙන යනු ලැබේ. ඉඩම් පවරා ගැනීමේ මන්දගාමි ස්වරූපය ප‍්‍රයෝජනයට ගෙන සමහරුන් මේ ඉඩම් බැංකුවලට උකස් කර මුදල් ලබා ගෙන ඒවා සින්න වීමට ඉඩ හරී. එසේ බැංකුවලට සින්න වූ සංරක්ෂණ වනාන්තරයට පවරා ගැනීමට යෝජිත ඉඩම් ගණනාවක් දුම්බර අඩවිය පුරා තැනින් තැන දැක ගත හැකි වේ.

මෙවන් තත්ත්වයකට ලක් ව තිබෙන්නේ ලංකාවේ දිග ම ගංගාව වන මහවැලි ගෙඟ් ප‍්‍රධානත ම ජල පෝෂක ප‍්‍රදේශය යි. මහවැලි ජල පෝෂක ප‍්‍රදේශ අතුරින් 30‍්‍ර ක් පමණ ආවරණය වන්නේ දුම්බර කඳුකරයෙනි. මීටර් 760 සිට මීටර් 1900 දක්වා උච්චත්ව පරාසය ඇසුරේ පිහිටි කදුවැටිවලින් සමන්විත දුම්බර කඳුකරයේ විවිධ වූ ස්වාභාවික පරිසර පද්ධතීන්හි අධික විවිධත්වයක් ද දැක ගත හැකි වේ. තෙත් කඳුකර වනාන්තර (වලාකුළු වනාන්තර), කුරු වනාන්තර, තෙත් උප කඳුකර වනාන්තර, අතරමැදි කලාපීය කඳුකර වනාන්තර, වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, ගංගාශි‍්‍රත වනාන්තර, තෙත් පතන තෘණ බිම්, වියළි පතන තෘණ බිම්, ළඳු කැලෑ බිම් දුම්බර කඳුකරයේ ව්‍යාප්ත ව ඇත.

දුම්බර අඩවියේ මේ විවිධ වූ පරිසර පද්ධතීන්හි කුල 141 කට අයත් සපුෂ්ප ශාක විශේෂ 1033 ක් පමණ හඳුනාගෙන තිබේ. එ් අතුරින් ශාක විශේෂ 160 ක් ලංකාවට ආවේණික වේ. මේ අතර ශාක විශේෂ 225 ක් දැවමය විශේෂ වන අතර, ඉතිරිය පඳුරු හා පැළෑටි වෙයි. ලංකාවේ වාර්තා වී ඇති සමස්ත ශාක විශේෂ අතුරින් 27.4‍% ක් පමණ සහ, ලංකාවට ආවේණික ශාක විශේෂ අතුරින් 17.3‍% ක් පමණ දුම්බර කඳුකරයෙන් වාර්තා වීම මේ වන අඩවියේ සුවිශේෂත්වය යි. මුළු ලොවින් ම දුම්බර අඩවියට පමණක් සීමා වූ ශාක විශේෂ හයක් වෙයි. කීන විශේෂයක් වන Calophyllum cuneifolium, දඹ විශේෂ වන Syzygium congylos, Syzygium madugodensis හා Eugenia apicaයන ශාක විශේෂ හතර සහ මෑතක දී සොයා ගත් ෂකැං නබමජ්කැබිසි ශාකය දුම්බර අඩවියට ආවේණික ශාක වෙයි. දුම්බර අඩවියේ පිටවල පතන වැනි පතන් බිම්වල දක්නට ලැබෙන පතන් අල (Brachystelma lankana)ශාකය ද දුම්බර අඩවියට ආවේණික ශාකයකි.

විශේෂයෙන් කඳුකර තෙත් වනාන්තර, උප කඳුකර තෙත් වනාන්තර හා ගංගාශී‍්‍රත වනාන්තරයන්හි උඩවැඩියා හා මීවන ශාක බහුල ව දැකගත හැකි වේ. දුම්බර කඳුකරයේ දැක ගත හැකි උඩවැඩියා ශාක විශේෂ අතර Adrorhizon purnuracens, Eria bicolor, Podochilus falcatus, Malaxis purpurea, Pholidota imbricata හා රාස්සන (Vanda tesserllata) වැනි ශාක වෙයි.

මෙහි මීවන ශාක විශේෂ 42 ක් හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 06 ක් ලංකාවට ආවේණික වෙයි. දුර්ලභ මීවන ශාක විශේෂ වන Elaphoglossum spathulatum, Botrychium daucifolium, Huperzia phyllanthaහා Psilotum nudum දුම්බර අඩවියෙන් වාර්තා වේ.

දුම්බර කඳුකරයේ සත්ත්ව විවිධත්වය පිළිබඳ ව සැලැකීමේ දී පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ පහ පිළිබඳ ව හා අපෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ වන සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් ගේ විවිධත්වය පිළිබඳ ව සැලැකිය යුතු අධ්‍යයනයන් සිදු කර තිබේ. ලෝක සංරක්ෂණ සංගමය, විවිධ පර්යේෂකයන් සහ මේ ලියුම්කරු විසින් ඉහත සත්ත්ව කාණ්ඩ හත පිළිබඳ ව සිදු කළ අධ්‍යයනයන් ගේ දත්ත සම්පිණ්ඩනය කැරුණු විට මෙහි සත්ත්ව විවිධත්වය පිළිබඳ ව මනා අවබෝධයක් ලබාගත හැකි වේ.2

උභයජීවීන්, උරගයන්, මත්ස්‍යයන්, පක්ෂීන්, ක්ෂීරපායින්, සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් යන සත්ත්ව කාණ්ඩ හතට අයත් විශේෂ 480 ක් දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. එය ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රදේශයෙන් වාර්තා වන මේ කාණ්ඩ හතට අයත් සත්ත්ව විශේෂ 1399 ප‍්‍රතිශතයක් ලෙස ගත්විට 34% ක් තරම් ඉතා ඉහළ අගයක් ගනී. ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 0.32‍%ක් පමණ වන දුම්බර කඳුකරයේ මේ තරම් විශාල සත්ත්ව ප‍්‍රජාවක් ජීවත්වීම මේ ප‍්‍රදේශයේ සංරක්ෂණ අවශ්‍යතාව කඩිනම් හා විධිමත් කිරීමට ප‍්‍රධාන හේතුවක් වේ.

ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රදේශයේ වාර්තා වන පෘෂ්ඨවංශි සත්ත්ව විශේෂ 901 අතුරින් විශේෂ 273 ක් දුම්බර අඩවියෙන් වාර්තා වී තිබේ. එය 30‍%ක ඉහළ ප‍්‍රතිශතයකි. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 330 අතුරින් විශේෂ 17 ක් ජීවත්වන්නේ දුම්බර කඳුකරයේ පමණකි. නැතහොත් ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ අතුරින් 5‍% ක් වාර්තා වන්නේ දුම්බර කඳුකරයෙනි. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 330 අතුරින් විශේෂ 92 ක් නකල්ස් කඳුකරයෙන් වාර්තා වන අතර එය 28% ක ඉතා ඉහළ ප‍්‍රතිශතයකි. දුම්බර කඳුකරයේ සුවිශේෂත්වය වන්නේ එහි වාර්තා වන ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 92 අතුරින් විශේෂ 17 ක් නැතහොත් 18% ක් දුම්බර කඳුකරයට ආවේණික පෘෂ්ඨවංශීන් වීම ය.

දුම්බර කඳුකරයේ වාර්තා වන උභයජීවීන් අතුරින් විශේෂ අටක් වාර්තා වන්නේ දුම්බර කඳුකරයෙන් පමණි. ඒ විශේෂ රැකොෆොරිඬේ (Rhacophoridae) කුලයට අයත් විශේෂ හතක් සහ ඩික්රොග්ලොසිඬේ (Dicroglossidae) කුලයට අයත් එක් විශේෂයක් වශයෙන් වර්ග කළ හැකි ය. රැකොෆොරිඬේ කුලයට අයත් දුම්බර පඳුරු මැඬියා (Pseudophilautus fulvus), හොෆ්මාන් ගේ පඳුරු මැඬියා (Pseudophilautus hoffmanni), විශාල පාදැති පඳුරු මැඬියා (Pseudophilautus macropus)", මුරි ගේ පඳුරු මැඬියා (Pseudophilautus mooreorus), ස්ටෙයිනර් ගේ පඳුරු මැඬියා (Pseudophilautus steineri), ස්ටුවර්ට් ගේ පඳුරු මැඬියා (Pseudophilautus stuarti) හා හැන්කනයිගේ පඳුරු මැඬියා (Pseudophilautus hankeni) සහ ඩික්රොග්ලොසිඬේ කුලයට අයත් දුම්බර ගල්පර මැඬියා (Nannophys marmorata) යන විශේෂ අට දුම්බර කඳුවැටියට ආවේණික වෙයි.

දුම්බර කඳුවැටියෙන් වාර්තා වන මත්ස්‍ය විශේෂ අතුරින් තුනක් දුම්බර කඳුවැටියට ආවේණික වන අතර තවත් විශේෂ දෙකක් වන ගඩයා (Labeo fisheri) හා දුම්බර පෙතියා (Systomus martenstyni) දුම්බර කඳුකරයට හා ඒ අවටින් පිහිටි මහවැලි ගෙඟ් ප‍්‍රදේශ කිහිපයකින් පමණක් වාර්තා වේ. දුම්බර කඳුකරයට ම පමණක් ආවේණික මත්ස්‍ය විශේෂ තුන නම් දුම්බර ගල්පාඩියා (Garra phillipsii), මල් පෙතියා හෙවත් දන්කුඩු පෙතියා (Dawkinsia srilankensis) හා දුම්බර කරඇදයා (Laubuca insularis) ය. මීට අමතර ව තවත් මත්ස්‍ය විශේෂ කිහිපයක් දුම්බර කඳුකරයට ආවේණික විශේෂ බවට ඉදිරියේ දී පත් විය හැකි බව එ් පිළිබඳ ව පර්යේෂණ සිදු කරන විද්වතුන් ගේ විශ්වාසය යි.

සිවුපා උරගුන් අතුරින් විශේෂ පහක් හා එක් සර්ප විශේෂයක් දුම්බර අඩවියට ආවේණික වේ. එනම් ඇගමිඬේ (Agamidae) කුලයට අයත් කටුසු විශේෂ තුනක් වන දුම්බර අඟ කටුස්සා හෙවත් පත‍්‍ර අඟ කටුස්සා (Ceratophora tennentii), දුම්බර කුරු බෝදිලිමා හෙවත් දුම්බර කුරු කටුස්සා (Cophotis dumbara) හා පෙතියාගොඩගේ කොදු දැති රහිත කටුස්සා (Calotes pethiyagodai) ය. ගෙකොනිඬේ (Gekkonidae) කුලයට අයත් දුම්බර මහ කැලෑ හූනා (Cyrtodactylus soba), සින්සිඬේ (Scincidae) කුලයට අයත් චතුරාංගලී සර්ප හිකනලා (Chalcidoseps thwaitesi) සහ පාංශුවාසී සර්ප විශේෂයක් වන යුරෝපෙල්ටිඬේ (Uropeltidae) කුලයට අයත් ඉරිවකටුල්ලා (Uropeltis phillipsi) දුම්බර අඩවියට ආවේණික අනෙක් උරග විශේෂයන් ය. මීට අමතර ව දුම්බර අඩවියට ආවේණික Calotes ගනයට අයත් තවත් විශේෂයක් තසුන් අමරසිංහ හා සමීර සුරන්ජන් කරුණාරත්න යන පර්යේෂකයින් විසින් විද්‍යා ලොවට හදුන්වා දීමට නියමිත ව ඇත.

ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 අතුරින් 30 ක් ම දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. දුම්බර කඳුකරයේ වාර්තා නොවන්නේ සබරගමු කඳුවැටියෙන් පමණක් වාර්තා වන ආවේණික පක්ෂි විශේෂ තුන පමණකි. ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂි විශේෂ වන මයිලගොයා (Sri Lanka Woodpigeon), ගුරුකොණ්ඩයා (Yellow ‐ eared Bulbul), ලංකා අරංගයා Sri Lanka Whistling Thrush), ලංකා හම්බු කුරුල්ලා (Sri Lanka Warbler), අ\ුරු නිල් මැසිමාරා හෙවත් කොපි කුරුල්ලා (Dusky ‐ blue Flycatcher), කඳුකර මල් කුරුල්ලා (Hill White ‐ eye), කැහිබෙල්ලා (Sri Lanka Blue Magpie) වැනි පක්ෂීහු රැුසක් දුම්බර කඳුකරයේ විවිධ  පරිසර පද්ධතීන්හි ජීවත් වෙති.

දුම්බර අඩවියේ වාර්තාවන මකුළුවන් පිළිබඳ ව පුළුල් අධ්‍යනයක් සිදුකර නොමැති වුව ද 2000 වසරේ දී S.P. Benjamin සහ R.Jocque යන විද්‍යාඥයන් විද්‍යා ලොවට හඳුන්වාදුන් Suffasia mahasumana නම් ලංකාවට ආවේණික මකුළු විශේෂය වාර්තාවන්නේ දුම්බර අඩවියෙන් පමණි.

මීට අමතර ව දුම්බර අඩවියේ පමණක් ජීවත් වන ලංකාවට ආවේණික මිරිදිය කකුළු විශේෂ හතරක් ද වේ. එනම්, Ceylonthelphusa sanguinea, Ceylonthelphusa callista, Ceylonthelphusa cavatrix හා Perbrinkia fido ය. මේ ජීවී විශේෂ දුම්බර අඩවියේ අද්විතීය ජෛව උරුමයේ මහා සාධකයන් වේ.

මෙවන් ඉතා සුවිශේෂී ජෛව ප‍්‍රජාවකට උරුමකම් කියන දුම්බර හෙවත් නකල්ස් සංරක්ෂණ වනාන්තරය නිසි පරිදි ආරක්ෂා කර ගැනීම නොහැකි වීම කනගාටුවට කරුණකි. 2010 වසරේ දී ලංකාවේ ඉහළ කඳුකරයට අයත් දුම්බර අඩවිය ලෝක උරුම ප‍්‍රදේශයක් ලෙස යුනෙස්කෝ සංවිධානය( UNESCO ‐ United Nations Educational, Scientific and Cultural Organization) මඟින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. ලෝක උරුමයක් ලෙස දුම්බර අඩවිය ප‍්‍රකාශයට පත් කර තිබෙන්නේ ඊට ම අනන්‍ය වූ භූ විද්‍යාත්මක,ජෛව විද්‍යාත්මක හා සාම්ප‍්‍රදායික ජන උරුමය නිසා ය. ඒ කිසිදු උරුමයක් ආරක්ෂා නොකර දුම්බර අඩවියේ එනසාල් වගාව ව්‍යාප්ත කළ හොත් නුදුරු දිනක ම මේ උරුමයන් සියල්ල ම අප රටට අහිමි වනු නිසැක ය.

එපමණක් නොව ඇමෙරිකන් ඩොලර් මිලියන 382 ක් (රුපියල් මිලියන 47,750 ක් පමණ) වැය කරමින් වියළි කලාපයේ හෙක්ටයාර 81,422 කට වාරි ජලය සැපයීමත්, අනුරාධපුරය හා ති‍්‍රකුණාමලය නගර වල කාර්මික කටයුතු සඳහා ජලය සැපයීමත්, මෙගාවොට් 20 ක ජල විදුලිය නිෂ්පාදනය කිරීමත් අරමුණු කර ගෙන කි‍්‍රයාත්මක කරන මොරගහකන්ඳ හා කළු ග`ග ජලාශ වල ජල සුරක්ෂිතතාවය සම්පූර්ණයෙන් බැදී පවතින්නේ දුම්බර අඩවියේ වන වැස්ම මත ය. එවන් වූ ප‍්‍රදේශයක් එනසාල් වගා කර වැනසුවහොත් මේ බහුකාර්යය වාරි ව්‍යාපෘති වලට ද අත්වන්නේ වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ බහුකාර්යය ජලාශ වලට ඇති වූ අවාසනාවන්ත ඉරණම ම ය.

මේ තත්ත්වය පිටු දැකීමට නම් එනසාල් වගාබිම් හා එනසාල් වාඩි කඩිනමින් ඉවත් කිරීම කළ යුතුව ඇත. ඒ සඳහා විකල්පයක් ලෙස යුකලිප්ටස් වගාබිම්වල හා පයිනස් වගා බිම්වල යටි ස්ථරයේ එනසාල් වගා කිරීම ස`දහා අවස්ථාව ලබාදිය යුතු ය. ඒ සඳහා විධිමත් අධ්‍යයනයක් සිදු කිරීම ද අවශ්‍ය වේ.

[සජීව චාමිකර - පරිසර සංරක්ෂණ භාරය]

Dear Mr. President ...........

ඒ අපේ ජනාධිපති  ....අපි කියන්නේ එහෙමයි ... අපිට පුලුහන්ද ජනාධිපති ලගට යන්න... ඔහු එනවද අපිත් එක්ක ඇවිද යන්න ....  ඔහු අහනවද අපි කියනදේ ....

vivara-fm

vivara-tv

Piya-Luogo

දියකිඳුරි මව්වරුන්

මාතෘත්වයේ ඇති වැදගත්කම නිරූපණය කීරීම සඳහා විශේෂ ඡායාරූප වැඩසටහනක් වෙනුවෙන් මෙම ඡායාරූප ගනු ලැබුවේ ඇමෙරිකානු ජාතික ඡායාරූප ශීල්පී ආදම් ඕප්‍රිස්...