මස් වැද්දන් ගේන් ඉබ්බන් රැකගනිමු.
Thursday, 15 November 2012 03:51
ගොඩබිම වියළි තැන්හි ජීවත්වීම සඳහා අනුවර්තනය වූ පළමු පෘෂ්ඨවංගී සත්ත්ව කාණ්ඩය වන උරගයන් මීට වසර මිලියන 65 කට පෙර පෘථිවියේ රජ කළ සත්ත්වයෝ වෙති.මෙසෝසොයික සමය හෙවත් උරග යුගයේ දී (ත‍්‍රියාසික සමයේ සිට ඉහළ ක‍්‍රිටේසීයස් සමය දක්වා ව්‍යාප්ත ව පැවැති) දියුණුව පැවැති මේ උරගයන් ගෝත‍්‍ර 16 ක් යටතේ වර්ගීකරණය කරනු ලැබූව ද දැනට ඉතිරි ව ඇත්තේ ඉන් ගෝත‍්‍ර 4 කට අයත් උරගයන් පමණි.එනම් Chelonia,Crocodilia, Squamata හා Rhynchocephaliaනම් ගෝත‍්‍ර 4 යි.Rhynchocephalia ගෝත‍්‍රයට අයත් එක් විශේෂයක් ලෝකයේ ජීවත් වේ. එනම් නවසීලන්තයේ ජීවත් වන ටුවාටරා (Sphenodon punctatus) ය.
මේ ගෝත‍්‍ර අතුරෙන් Chelonia ගෝත‍්‍රය යටතේ ලෝකයේ ඉබ්බන් හා කැස්බෑවන් විශේෂ 300 කට වැඩි ප‍්‍රමාණයක් වාර්තා වේ.මේ අතුරින් විශාලතම ඉබ්බන් ජීවත් වන්නේ ගලපගෝස් දුපත් ආශ‍්‍රිත ව ය. මොවුන් දිගින් 120cm ක් පමණ ද, බරින් 112kg ක් පමණ ද වේ. මේ ගෝත‍්‍රයට අයත් කරදියේ ජීවත්වන කැස්බෑවුන් විශේෂ 8 කි. අවසාන ක‍්‍රිටේසීයස් සමයේ දී Archelon ischyros(වසර මිලියන 75 ත් 65 ත් අතර කාළයේ දී) නම් කැස්බෑවුන්ට සමාන සත්ත්ව විශේෂයක් කරදියේ ජීවත් වී ඇත. දිගින් 3.6m ක් වූ මොවුන් ගේ ගාත‍්‍රා අවල්පත් ලෙස විකරණය වී තිබී ඇත.
Chelonia ගෝත‍්‍රයට අයත් සතුන් ගේ විශේෂ ලක්ෂණයක් වන්නේ අණ්ඩාකාර හැඩයට සමාන කවචයකින් ආවරණය වූ දේහයක් දැරීම යි. මෙකී කවචය වූ කලී නිශ්චිත රටාවකට පිළියෙල වූ එකිනෙකට ළඟින් ඇදුණු අස්ථි ස්තරයකින් ද ඒ ස්තරය මත්තේ ක‍්‍රමවත් ලෙස පිළියෙල වූ කොරොස් වරූථක ආවරණයකින්ද සමන්විත වීම යි. කවචයෙහි පෘෂ්ඨීය ව උත්තල කොටස උඩු කබොලයි. වඩාත් පැතලි උදරීය කොටස යටි කබොල යි. උරස් කශේරුකා හා පර්ශු සාමාන්‍යයෙන් අස්ථිමය උඩු කබලට සවි වී ඇත. සමහර සතුන් ගේ හම් වැනි ආවරණයකින් උඩු කබොල සමන්විත වන අතර, කවචය දුර්වල ලෙස අස්ථිභවනය වී ඇත.(මෙය ජලයේ ගැඹුරට පිහිනා යන සතුන් ගේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි.) මොවුන් ගේ හණු,දත් නොදරන අතර, ආහාර තළා පොඩි කිරීම සඳහා සහය වීමට කොරොස් කොපු ස්ථරයක් පිහිට යි.
Chelonia ගෝත‍්‍රයට අයත් විශේෂ 8 ක් ලංකාවේ වාර්තා වේ. ඉන් කරදියේ ජීවත් වන කැස්බෑවුන් විශේෂ 5 ක් ද ගොඩබිම හා මිරිදියේ ජීවත් වන ඉබ්බන් විශේෂ 3 ක් ද වේ. මේ ලිපියෙන් දීර්ඝ ව සාකච්ඡුා කැරෙන්නේ ඉබ්බන් විශේෂ තුන පිළිබඳ ව ය. මොවුන් කුල තුනක් යටතේ වර්ගීකරණය කර ඇත.
Bataguridae කුලය යටතේ ගල් ඉබ්බා (Melanochelys trijuga) විස්තර කැරේ. මේ විශේෂයේ උඩු කබොල කොරොස් වරූථක ආවරණයකින් සමන්විත වේ. පූර්ව ගාත‍්‍රා යුගලේ නඛර පහක් ද අපර ගාත‍්‍රා යුගලේ නඛර හතරක් ද පිහිටයි. ගාත‍්‍ර යුගල් දෙකේ බැදි පටල යාන්තමින් දැක ගත හැකි ය. පාදවල පහළ කොටස් කොරළවලින් වැසී ඇත. කුඩා පැටවුන් ගේ හිසේ රතු පැහැ පුල්ලි පිහිට යි. ප‍්‍රමාණයෙන් වැඩෙත් ම මේ අල්ලි නො පෙනී යයි. මොවුන් ගේ නාස් විවර හොම්බේ ඉදිරියෙන් ඉහළට වන්නට කුඩා සිදුරු යුගලක් ලෙස පිහිටා ඇත.
ගල් ඉබ්බා සර්ව භක්ෂක විශේෂයකි. එහෙත් ඇති කරන සතුන් ගේ පෙනී යන විශේෂ ලක්ෂණයක් නම් මොවුන් මාංශ ආහාර සඳහා වැඩි ප‍්‍රිය බවක් දක්වීම යි. දහවල් කාලයේ හොඳින් ආවරණය වු සෙවණ සහිත ස්ථානයක මොවුහු ලැග සිටින අතර, රාත‍්‍රි කාලයේ ආහාර සොයා යති. ආහාර ගැනීමේ දී පූර්ව
ගාත‍්‍රා යුගල ද උපයෝගී කර ගනිති. වැඩි කාලයක් ජලයේ ගත කරන මේ සතුන් ගේ පැටවු වඩාත් ජලයට ප‍්‍රිය කරති. ගල් ඉබ්බා ජලයේ සිටින අවස්ථාවල දී බිය වූ විට ජලයේ පතුලට ගමන් කරයි. එක් වරක් ජල පෘෂ්ඨයට පැමිණ හුස්ම ගෙන විනාඩි පහකට වැඩි කාලයක් ජලයේ රැුඳී සිටිය හැකි ය. ජලයේ විවේකී ව ලැග සිටින අවස්ථාවල දී ජල පෘෂ්ඨයට පැමිණ නාස් විවර පමණක් ජල පෘෂ්ඨයෙන් ඉහළ සිටින ලෙස රැුඳී සිටී. මොවුන් ගේ ප‍්‍රජනන අවස්ථාවේ දී දැක ගත හැකි විශේෂ චර්යාවක් නම් පිරිමි සතා විසින් ගැහැනු සතා ගේ ගෙල ප‍්‍රදේශය හැපීම යි. මේ සැපීමේ දී තුවාළ සිදු වී ඇති අයුරු දැක ගත හැකි අතර,ටික දිනකින් මේ තුවාළ සුව වේ.
ලංකාවේ තෙත් සහ වියළි කලාපයේ හමුවන ගල් ඉබ්බා උප විශේෂ දෙකකට අයත් වන බව සත්ත්ව විද්‍යාඥ පී. ඊ. පී.දැරණියගල මහතා සඳහන් කර ඇත. Melanochelys trijuga parkeri නම් උප විශේෂය ලංකාවේ උතුරු කලාපවල මුහුදු බඩ පහත් ප‍්‍රදේශවල වාර්තා වේ.ලංකාවට ආවේණික මේ උප විශේෂය ප‍්‍රමාණයෙන් විශාල ය. දිග 34.5 cm ක් වන අතර පළල 24.6 cm ක් වේ.
Melanochelys trijuga thermalis නම් උප විශේෂය තෙත් කලාපයේ අඩි 4200 ක් දක්වා කඳුකරය වන තෙක් වාර්තා වේ. මොවුන් ගේ දිග 27.1cm ක් ද පළල 19.7cm ක් ද වේ. දැරණියගල මහතා ගේ විස්තරවලට අනුව Malanochelys trijuga sinhaleya නම් උප විශේෂය ප්ලයිස්ටොසීන අවධිය හෙවත් අවසාන මහා ග්ලැසියර අවධියේ දී ලංකාවේ ජීවත් වී ඇත. අද වන විට වඳ වී ගොස් ඇති මේ උප විශේෂය දැනට ලංකාවේ ජීවත්වන උප විශේෂයන්ට වඩා ප‍්‍රමාණයෙන් විශාල වී ඇත.
Trionychidae කුලය යටතේ කිරි ඉබ්බා (Lissemys punctata) විස්තර කැරේ. මේ විශේෂයේ උඩු කබොල දුර්වල ලෙස අස්ථිභවනය වී ඇති අතර, මොළොක් සමකින් ආවරණය වී ඇත. බැඳි පටල සහිත පාද හබලක් ලෙස හොඳින් සැකැසී ඇත. හොම්බේ ඉදිරියෙන් පිහිටන නාස් සිදුරු යුගල කපාට සහිත ය. ඉහත අනුවර්තනවලින් යුත් කිරි ඉබ්බා ඉතා හොඳින් ජලජ ජීවිතයට අනුවර්තනය වී ඇත.

මොවුහු ප‍්‍රධාන වශයෙන් මාංශ භක්ෂක සතුන් වන අතර ගෙම්බන්, මත්ස්‍යයන්, දිය ගොළුබෙල්ලන් හා කකුළුවන් ගොදුරු කර ගනිති. ඝන ආහාර සැපැයීම සඳහා ශක්තිමත් හණු පිහිටා ඇත. ජලජ පැළෑටි ද ආහාරයට ගන්නා මොවුහු ප‍්‍රධාන වශයෙන් ජලජ ජීවිතයක් ගත කරති. එහෙත් සමහර අවස්ථාවල දී රාත‍්‍රී කාලයේ ගොඩබිමට පැමිණ ආහාර සොයා යති. දිය යට බොහෝ වේලාවක් ගත කළ හැකි කිරි ඉබ්බා බිය
වූ විට මඩ තුළට රිංගා යයි.
ලංකාවේ තෙත් හා වියළි කලාපයේ ජීවත් වන කිරි ඉබ්බා Lissemys punctata punctata උප විශේෂයට අයත් වේ. දැරණියගල මහතා ගේ විස්තරවලට අනුව Lissemys punctata punctata නම් උප විශේෂය ප්ලයිස්ටොසීන අවධියේ දී ලංකාවේ ජීවත් වී ඇත.
Testudinidae කුලය යටතේ තරු ඉබ්බා (Geochelone elegans) විස්තර කරයි. මේ විශේෂය හැඳින්වීමට විවිධ ප‍්‍රදේශවල විවිධ නම් රාශියක් භාවිත වෙයි. තාරකා ඉබ්බා, වෛරන් ඉබ්බා, මූකලන් ඉබ්බා, මේවර ඉබ්බා, හූනියම් ඉබ්බා, මෑකරල් ඉබ්බා, වැටකෙයා ඉබ්බා ඒ අතරින් සමහරකි. පූර්ණ වශයෙන් ගොඩබිම ජීවිතයට අනුවර්තනය වූ විශේෂයකි. හොඳින් අස්ථි භවනය වී ඇති දෘඪ උඩු කබොල වර්ණවත් වරූථක ආවරණයකින් සමන්විත වේ. ශරීරය කහ පැහැ කොරළවලනි් සම්පූර්ණයෙන් ම ආවරණය වී ඇත. පූර්ව ගාත‍්‍රා යුගලේ නඛර පහක් හෝ හතරක් ද අපර ගාත‍්‍රා යුගලේ නඛර හතරක් ද දැක්ක හැකි ය. ප‍්‍රධාන වශයෙන් ශාක භක්ෂක විශේෂයකි. වියළි කලාපයේ ජීවත් වන අතර, පතොක් පඳුරු ආශ‍්‍රිත ව බහුල ව හමුවන මේ සත්තු පතොක් ගෙඩි ආහාරයට ගැනීමට වැඩි ප‍්‍රිය බවක් දක්වති.
ඉහත විස්තර කරන ලද්දේ ලංකාවේ ජීවත් වන දේශීය ඉබ්බන් විශේෂ තුනක් පිළිබඳ ව ය. මීට අමතර ව සිංගප්පුරුවෙන්, මෙරට විසිතුරු ජල ජීවී කර්මාන්තය සඳහා පසුගිය කාලයේ දී ගෙන්වන ලද ගල් ඉබ්බන් විශේෂයක් ද වේ.
Trachymis scripta නම් විද්‍යාත්මක නාමයෙන් හදුන් වන මේ විශේෂය ඉතා වර්ණවත් ය. ගාත‍්‍රාවල හා ශරීරයේ ලා කොළ මිශ‍්‍ර කහ පැහැ තිරස් ඉරි පිහිටයි. හිසේ කර්ණ විවරය ප‍්‍රදේශයේ රතු පැහැ පුල්ලියකි.මේ නිසා ඉංග‍්‍රීසියෙන් Red - eared Terrapin ලෙස හැඳින් වේ. යටි කබොල ඉතා අලංකාරවත් වන අතර, කහ පැහැයෙන් වෛරන් වැටී ඇත. මේ ලක්ෂණ හේතුවෙන් දේශීය ගල් ඉබ්බා ගෙන් මේ විශේෂය ඉතා පහසුවෙන් වෙන් කර හඳුනාගත හැකි ය.
මේ විශේෂයේ කුඩා පැටවුන් සැල්මොනෙල්ලා ඒක සෙලික ජීවියා ගේ ධාරකයකු ලෙස ක‍්‍රියා කරන බව සොයාගෙන ඇත. මීට අමතර ව මේ විශේෂය ලංකාවේ ජලාශවල බෝවීමට පටන් ගත හොත් බොහෝ තර්ජන එල්ලවීමට ද ඉඩ ඇත. දැනට එවැනි තර්ජනයක් නැතත්, සුළු වශයෙන් හෝ මේ සතුන් ආනයනය කිරීම තහනම් කළ යුතු ය.
2007 IUCN රතු දත්ත වාර්තාවට අනුව ලංකාවේ ඉබ්බන් විශේෂ අතරින් තාරකා ඉබ්බා සහ කිරි ඉබ්බා වඳ වී යෑමේ අවදානමකට(Vulnerable) මුහුණ පා ඇති සතුන් ලෙස ද, ගල් ඉබ්බා ආසන්න තර්ජිත(Near Threatented) විශේෂයක් ලෙස ද දක්වා ඇත. මේ තත්වය ඇතිවීමට ප‍්‍රධාන හේතුව මස් වැද්දන් ගේ ගොදුරු බවට මේ සතුන් පත්වීම යි. 1970 දශකයේ අවසානය හා 80 දශකයේ මැද භාගය වන තෙක්ම ගල් ඉබ්බා හා කිරි ඉබ්බා සුලභ ව වාර්තා වී ඇත. මොවුන් ඇළ, දොළ හා වැව්වල පමණක් නො ව,ගල් කැඞීම නිසා හෑරී ඇති විශාල ගල් වළවල් තුළ ද ජීවත් වී ඇත. එහෙත් අද වන විට ආහාර පිණිස සීග‍්‍රයෙන් මැරීම නිසා මේ සතුන් දුර්ලභ විශේෂ බවට පත් වී ඇත. මීට අමතර ව දුටු හැම ඉබ්බකු ම (තරු ඉබ්බා හා ගල් ඉබ්බා බහුල වශයෙන්) ගෘහාශ‍්‍රිත ව ඇති කිරීම සඳහා අල්ලාගෙන යෑම ඔවුන් ගේ බෝවීමට තවත් තර්ජනයකි.
සීග‍්‍ර නාගරීකරණය හා කාර්මීකරණයේ ප‍්‍රතිඵලයක් ලෙස දිය දහරාවන් දුෂණයට ලක් වීම හා ඒවායේ ජීවත් වන ජලජ ජීවීන් ගේ විවිධත්වය අඩු වීම හේතුවෙන් ආහාර ප‍්‍රභවයන් සීමා වීමෙන් ගල් ඉබ්බන් හා කිරි ඉබ්බන් ගේ ගහනය සීග‍්‍රයන් අඩු වෙමින් තිබේ.
මේ සතුන් විනාශ වීමට තවත් ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ වාසස්ථාන විනාශ වීම හා වාසස්ථාන ඛණ්ඩනය වීමයි. තෙත්බිම් ගොඩකිරීම, වනාන්තර පරිසර සීග‍්‍රයෙන් එළි පෙහෙලි කිරීම වැනි හේතු සාධක නිසා මේ සතුන් ගේ වඳ වීම වේගවත් වී තිබේ. ඊට අමතර ව මාර්ග අනතුරු හේතුවෙන් ගල් ඉබ්බන් හා තාරකා ඉබ්බන් බහුලව මිය යෑම සිදු වේ. ස්වාභාවික වාසස්ථාන ඛණ්ඩනය කරමින් ඉදිකර ඇති මාර්ග පද්ධතිය මේ තත්ත්වයට ප‍්‍රධාන හේතුවක් වේ.
2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ දැඩි ආරක්ෂිත සතුන් ලෙස ඉබ්බන් විශේෂ තුනට නෛතික ආරක්ෂාව සලසා ඇත. පනතේ 30(1) වගන්තිවලට අනුව මේ සතුන් මරණයට පත් කිරීම, තුවාළ කිරීම හෝ හානි කිරීම, අල්ලා ගැනීම, බිත්තර විනාශ කිරීම, මරණ ලද හෝ අල්ලා ගනු ලැබූ සතකු ළග තබා ගැනීම සහ සතකු හෝ කොටස් ලඟ තබා ගැනීම හෝ විකිණීම හෝ ඒ සඳහා ප‍්‍රදර්ශනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. පනතේ 30(2) වගන්තියට
අනුව මෙවැනි ක‍්‍රියාවක් සඳහා වරදකරුවකු වන පුද්ගලයකු හට රුපියල් 30,000 ත් රුපියල් 100,000 ත් අතර දඩයක් හෝ වසර 2 ත් 5 ත් අතර සිර දඩුවම් හෝ මේ දඩුවම් දෙක ම ලබා දිය හැකි ය. මෙවන් නෛතික ආරක්ෂාවක් ලබා දී ඇත්තේ වඳ වී යෑමේ එළිපත්තේ සිටින මේ සතුන් රැකගැනීම පරිසර පද්ධතිවල තුළිතතාවට ඉතා ම වැදගත්වන නිසා ය.
සජීව චාමිකර පරිසර සංරක්ෂණ භාරය
