"Eco Golf Resort" පරිසර සංවිධානවල බලපෑම හමුවේ නවතියි.(සොරගුණේ කැලය, වන පාළුවන්ගේ රජදහනක් ව පවතී.)
Thursday, 17 January 2013 03:31
උඩවලව ජාතික වනෝද්‍යානය හා ඒ ආශ‍්‍රිත වනාන්තර පද්ධතිය අලි - ඇතුන් ගේ නිජබිමක් ලෙස අලි - මිනිස් ගැටුමකින් තොර කලාපයක් ලෙස සංරක්ෂණය කිරීමේ හැකියාව පවතී. එහෙත් දේශපාලන බලපෑම, නිලධාරිවාදය හා රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොමැති වීම යන කරුණු හේතුවෙන් අලි - මිනිස් ගැටුම මේ ප‍්‍රදේශයේ වරින් වර උග‍්‍ර වෙමින් පවතී.
උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට නැෙඟනහිර දෙසට වැටහිරකන්ද ස්වභාව රක්ෂිතය හරහා ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයටත්, එතැන් සිට යාල වන සංකීර්ණයටත් අලි - ඇත්තු සංක‍්‍රමණය වෙති. එහෙත් වැටහිරකන්ද ස්වභාව රක්ෂිතයේ අනවසර හේන් වගාව හා අනවසර ඉදිකිරීම් හේතුවෙන් ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය දෙසට, අලි - ඇතුන් ගේ සංක‍්‍රමණික ගමන් මාර්ගයට බාධා එල්ල වී
තිබේ.
උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට උතුරු දෙසට අලි - ඇතුන් ගේ සංක‍්‍රමණික ගමන් මාර්ගය පිහිටා ඇත්තේ දහයියාගල අභය භූමිය හරහා යෝජිත බෝගහපිටිය අභය භූමිය දෙසටත්, එතැන් සිට සොරගුණේ කැලය හා රජවක වනාන්තර ප‍්‍රදේශ කරාත් ය. 2009 වසරේ සැප්තැම්බර් මස අග භාගයේ දී උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට බෝගහපට්ටිය දෙසට අලි - ඇතුන් සංක‍්‍රමණය වන දහයියාගල අභය භූමිය හරහා විදුලි වැටක් ඉදිකර අලි - ඇතුන් සංක‍්‍රමණය වන සාම්ප‍්‍රදායික අලි මංකඩ වසා දැමීමට සූදානම් විය. එහෙත් පරිසර සංවිධාන එක් ව ගත් ක‍්‍රියාමාර්ගවල ප‍්‍රතිඵලයක් ලෙස මේ විදුලි වැට නිවැරදිව ඉදිකිරීමට හැකි විය.
එසේ වුවත් අද වන විට ද බෝගහපට්ටිය අභයභූමිය යෝජිත තත්ත්වයේ පවතින අතර, සොරගුණේ කැලය, වන පාළුවන්ගේ රජදහනක් ව පවතී. මේ තත්ත්වය අලි - මිනිස් ගැටුම වර්ධනයටත් එ් ආශ‍්‍රිත අලි - ඇතුන් ගේ පැවැත්මටත් ප‍්‍රබල තර්ජනයක් වී තිබේ.
සොරගුණේ දේවාලයේ නින්දගම් ඉඩම්වලට අයත් කොස්ගහමංකඩ වනාන්තරයේ අක්කර 628 ක් එළි පෙහෙළි කර "Eco Golf Resort" නමින් ගොල්ෆ් ක‍්‍රීඩා පිටියක් හා හෝටලයක් ඉදිකිරීමට පසුගිය කාලයේ දී සැලසුම් සකස් කෙරිනි. නමුත් පරිසර සංවිධානවල බලපෑම හමුවේ එය තාවකාලිකව යටපත් වුවද අද වන විට මේ වනාන්තරය හරහා කුඩා කතරගම දේවාලයේ සිට වේලි ඔය ජලාශයේ වේල්ල දක්වා මාර්ගයක් ඉදිකිරීම සිදු වේ. මේ වනාන්තර පද්ධතිය අනාරක්ෂිතව පැවතීම හේතුවෙන් මේ හානිකර ක‍්‍රියා දිගින් දිගටම සිදු වේ.
මේ සඳහා යොදා ගැනීමට නියමිත වූ ඉඩම් සොරගුණේ කුඩා කතරගම දේවාලයට අයත් නින්දගම් ඉඩම් වන අතර බෝගහපට්ටිය - සමනළ වැව අභයභූමිය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත වනාන්තර ඉඩම්ය. මේ වනාන්තර ඉඩම වේලි ඔය වාරි ව්‍යාපෘතියේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශ වන අතර උඩවලව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි අලි - ඇතුන් ගේ සුවිශේෂී වාසස්ථානයකි.
සොරගුණේ කුඩා කතරගම දේවාලයට අයත් නින්දගම් ඉඩම් එහි බස්නායක නිලමේ එච්. එම්. ජනක රවීන්ද්‍ර කළුපහන මහතා විසින් වරින්වර විවිධ පුද්ගලයින්ට පැවරීම සිදු කරයි. මේ තත්ත්වය ඇති වන්නේද මේ වනාන්තර පද්ධතිය කිසිදු නීතිමය ආරක්ෂාවක් නොමැතිව අනාරක්ෂිතව පැවතීම හේතුවෙනි.
බෝගහපට්ටිය යෝජිත අභය භූමිය උඩවලව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ පිහිටි දහයියාගල අභය භූමිය (උඩවලව - බෝගහපට්ටිය සාම්ප‍්‍රදායික අලිමංකඩ) හා සම්බන්ධ ව පිහිටා තිබේ. උඩවලව ජාතික වනෝද්‍යානයේ සිටින අලි - ඇත්තු දහයියාගල අභය භූමිය හරහා බෝගහපට්ටිය වනාන්තර ප‍්‍රදේශයට සංක‍්‍රමණය වීම සිදු වන අතර, දහයියාගල හා බෝගහපට්ටිය ප‍්‍රදේශයේ අලි - ඇත්තු විශාල ප‍්‍රමාණයක් ජීවත් වෙති. බෝගහපට්ටිය යෝජිත අභයභූමියෙහි අලින් ගේ ලවණ අවශ්‍යතාව සඳහා වැදගත් වන කරමැටිය නම් ලවණ නිධිය පිහිටා තිබේ. මේ ප‍්‍රදේශයට දහයියාගල අලිමංකඩ (උඩවලව - බෝගහපට්ටිය සාම්ප‍්‍රදායික අලිමංකඩ) හරහා අලි - ඇතුන් සංක‍්‍රමණය වන්නේ මෙකී ලවණ නිධියේ ලවණ ලබා ගැනීම සඳහා ය.
යෝජිත බෝගහපිටිය අභයභූමිය සබරගමුව හා ඌව පළාත් දෙකට අයත් රත්නපුර, බදුල්ල හා මොණරාගල දිස්ත‍්‍රික්ක තුනෙහි බලංගොඩ, ඉඹුල්පේ, හල්දුම්මුල්ල හා තණමල්විල යන ප‍්‍රාදේශික ලේකම් කොට්ඨාස හතරෙහි ග‍්‍රාම නිලධාරි වසම් 28 ක් පුරා ව්‍යාප්ත ව තිබේ. මෙහි භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් 200 ක් පමණ වේ.
යෝජිත අභය භූමිය හරහා වලවේ ගඟ, කුඩා ඔය, කාල්කන්නි ඔය, වේලි ඔය, කොස්ගම් ඔය, මුල්ගම් ඔය, දියබෙත්ම ඔය වැනි ගංගා සහ ඔයවලට අමතර ව මවු ආර, තඹගහ ආර, නෙලූ ආර, වෙලන්විට ආර, බෝගහපට්ටිය ආර, ගල්ලෑලිතොට ආර වැනි ඍතුමය දිය දහරාවන් ගණනාවක් වෙයි.යෝජිත අභයභූමියේ සමනළ වැව ජලාශය, මුල්ගම වැව, ඉදද්ගල වැව, වෙල්විට වැව, මහනෙටුල වැව, දිවුලාන වැව, සිරිපුර වැව, කිවුලෙ වැව යන ජලාශ හා වැව් පිහිටා තිබේ. මීට අමතරව ¥විලි ඇල්ල , දියවිනි ඇල්ල හා ප‍්‍රියන්ගිරි ඇල්ල ද මේ යෝජිත අභය භූමියට ඇතුළත් වේ. යෝජිත අභය භූමි ප‍්‍රදේශය වැව් හා ජලාශ ගණනාවක ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශයක් වෙයි. සමනළ වැව ජලාශය, උඩවලව ජලාශය, ලූණුගම්වෙහෙර ජලාශය හා මවු ආර ජලාශය ඉන් ප‍්‍රධාන වේ.
යෝජිත අභය භූමිය ආශ‍්‍රිත ව ග‍්‍රාම නිලධාරී වසම් 35 ක පමණ ම අලි - මිනිස් ගැටුම පවතී.බෝගහපට්ටිය අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමෙන් මේ තත්ත්වය පාලනය කර ගත හැකි වනු ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදෙශ්ික නිලධාරීන් මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස අධ්‍යයනය කර, මෙකී වනාන්තර ප‍්‍රදේශය බෝගහපට්ටිය අභය භූමිය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට සැලැසුම් සකස් කර තිබේ. එහෙත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනාන්තර ප‍්‍රදේශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කිරීමට මූලික සැලැසුම් සකස් කර තිබේ. මෙකී වනාන්තර ප‍්‍රදේශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කර රක්ෂිතයක් ලෙස හෝ සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප‍්‍රකාශයට පත් කළ හොත් රජයට අයත් වනාන්තර ප‍්‍රදේශයට පමණක් ආරක්ෂාව හිමිවේ. යෝජිත බෝගහපට්ටිය අභය භූමිය තුළ රජයට අයත් මෙන්ම පෞද්ගලික භුක්තියට අයත් වනාන්තර ප‍්‍රදේශ පවතී. එබැවින් අභය භූමියක් ලෙස වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ප‍්‍රකාශයට පත් කිරීමෙන් වැඩි රැුකවරණයක් වනාන්තර පද්ධතියට හිමි වේ. එහෙත් එවන් ¥රදර්ශී දැක්මක් නොමැතිකමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් බෝගහපට්ටිය වනාන්තර ප‍්‍රදේශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරීමට සූදානම් වීම ඉතා ම හානිකර තත්ත්්වයකි. එමෙන් ම බෝගහපට්ටිය - උඩවලව සාම්ප‍්‍රදායික අලි මංකඩ කළමනාකරණය කිරීමේ දී ද මෙසේ දෙපාර්තමේන්තු දෙකකට අයත් වනාන්තර ඉඩම් පැවතීම ගැටලූ සහිත විය හැකි ය.

සොරගුණේ වනාන්තරය යනු බෝගහපට්ටිය වනාන්තරය හා සම්බන්ධ ව පිහිටි අක්කර 12000 ක් පමණ වන සොරගුණේ දේවාලයට අයත් නින්දගම් ඉඩමකි. යෝජිත බෝගහපට්ටිය අභය භූමියට මේ නින්දගම් ඉඩම ඇතුළත් වේ. තව ද මේ වනාන්තරය කාල්කන්නි වනාන්තරය ලෙස ද හැඳින්වේ. වේලි ඔයේ සහ කාලක් න්නි ඔයේ පධ‍්‍රාන ජල පොෂ්ක පේරද්ශ වන්නේ සොරගෙණ් වනාන්තරය යි. වේලි ඔය හරස් කර ලබා ගන්නා ජලයෙන් ක‍්‍රියාත්මක වන වේලි ඔය වාරි ව්‍යාපාරයේ් පැවැත්ම ර`දාපවතින්නේ ද සොරගුණේ වනාන්තර ප‍්‍රදේශයේ සුරක්ෂිතතාව අනුව ය. වේලි ඔය ව්‍යාපාරයෙන් දහයියාගල, මහ නෙටුල, කුඩා නෙටුල, බෝගස් වැව, හම්බෙගමුව, පොකුණුතැන්න, දිවුලාන ප‍්‍රදේශවල පිහිටි වැව් 12 කට පමණ ජලය ලබා දේ.
සොරගුණේ වනාන්තරය රත්නපුර දිස්ත‍්‍රික්කයේ පිහිටි රජවක යෝජිත රක්ෂිතය, බදුල්ල දිස්ත‍්‍රික්කයට අයත් වෙලන්විට යෝජිත රක්ෂිතය හා කොස්ගම යෝජිත රක්ෂිතය හා සම්බන්ධ ව පවතී. මීට අමතර ව මේ වනාන්තරය වලවේ ගඟ දක්වා ම ව්‍යාප්තව ඇත. එබැවින් මෙය වලවේ ගෙ`ග් ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙස ද ක‍්‍රියාත්මක වේ.
එසේ ම මේ වන්නාන්තර ප‍්‍රදේශය වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, ගංගාශ‍්‍රිත වනාන්තර සහ සැවානා තණ බිම්වලින් සමන්විත ය. මෙහි ශාක විවිධත්වය පිළිබඳ ව මෙතෙක් ප‍්‍රමාණවත් අධ්‍යයනයක් සිදු කර නොමැති මුත් ඌව ප‍්‍රදේශයට ආවේණික ඌව මැන්දෝරා ශාකයේ සිට කොන්, මී, කුඹුක්, මිල්ල, බුරුත, වෙලං, මාදං, අරළු, බුළු, නෙල්ලි වැනි ශාක දැක ගත හැකි බව නිරීක්ෂණ වල දී අනාවරණය වී තිබේ.
බෝගහපට්ටිය - සොරගුණේ - සමනල වැව වනාන්තර ප‍්‍රදේශයේ සමස්ථ පෘෂ්ඨවංශී සත්ත්ව විවිධත්වය පිළිබඳ ව පුළුල් අධ්‍යයනයක් මේ වන විට සිදු කර තිබේ. Herpetological Foundation of Sri Lanka ආයතනයේ එල්. ජේ. මෙන්ඩිස් වික‍්‍රමසිංහ මහතා විසින් මේ අධ්‍යයනය සිදු කර ඇති අතර, එහි වාර්තාවර්‍ණ් "A Vertebrate Faunal Survey of Samanala wewa, Towards Declaration as a wildlife National Park"නමින් සකස් කර තිබේ. මේ වාර්තාව අනුව බෝගහපට්ටිය - සොරගුණේ - සමනල වැව වනාන්තර පද්ධතියේ පෘෂ්ඨවංගී සත්ත්ව කාණ්ඩ 5 ට අයත් විශේෂ 390 ක් පමණ වාර්තා වේ. ඉන් විශේෂ 59 ක් පමණ ලංකාවට ආවේණික වෙති. ලංකාවේ වාර්තාවන පෘෂ්ඨවංගී සත්ත්ව විශේෂ අතුරින් 40% ක් සහ ලංකාවට ආවේණික පෘෂඨ් වංශීන් අතුරින් 19% මේ වනාන්තර පදධ්තියෙන් වාර්තා වීමෙන් මෙහි ඇති වටිනාකම ඉතා හොඳින් අවබෝධ කර ගත හැකි ය.

මේ අධ්‍යයනයට අනුව ඉතා දුර්ලභ සත්ත්ව විශේෂ හා විද්‍යා ලොවට අලූතින් සත්ත්ව විශේෂ කිහිපයක් සොයා ගැනීමටත් මේ ප‍්‍රදේශයෙන් හැකි ව තිබේ. මෙහි දියපහරවල වාර්තාවන මත්ස්‍ය විශේෂ අතුරින් ලංකාවට ආවේණික බුලත් හපයා (Pethia nigrofasciatus) සහ තල් කොස්සා(Belontia signata) යන විශේෂ සුවිශේෂී වෙති. ඊට හේතුව මේ ප‍්‍රදේශයේ පළමුවරට එම විශේෂ වාර්තා වීම ය.
උභයජීවීන් අතුරින් Pseudophilautus ගනයට අයත් විශේෂ දෙකක් මේ ප‍්‍රදේශයෙන් අලූතින් වාර්තා කිරීමට හැකි ව තිබේ. එම විශේෂ දෙක මේ වන විට නාමකරණය කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.ලංකාවේ ඉතාම දුර්ලභ සිව්පා උරගුන් විශේෂ දෙකක් මේ ප‍්‍රදේශයේ වාර්තා කිරීමට හැකි ව තිබේ. එනම් පදුරු කටුස්සන් විශේෂයක් වන Ophisops leschenaultii හා ලංකාවට ආවේණික හිකනලූන් විශේෂයක් වන Dasia halianusය. මීට අමතර ව පොළොන් තෙලිස්සන් අයත් වන Hypnale-- ගනයට අයත් එක් විශේෂයක් හා පළා පොළොගුන් අයත් වන Trimeresurus ගනයට අයත් එක් විශේෂයක් මේ ප‍්‍රදේශයේ අලූතින් සොයා ගැනීමට හැකි ව තිබේ. එම විශේෂ තවම නාමකරණය කිරීම සිදු කර නොමැත. තවද පාංශුවාසී සර්පයන් වන කනඋල්ලන් අයත්වන Typhlops ගනයට අයත් විශේෂ දෙකක් ද මේ වනාන්තරයෙන් අලූතින් සොයා ගැනීමට මෙන්ඩිස් වික‍්‍රමසිංහ මහතාට හැකි ව තිබේ.
මෙන්ඩිස් වික‍්‍රමසිංහ මහතා ගේ අධ්‍යයනයේ දී මේ වනාන්තර පද්ධතියෙන් ඉතා දුර්ලභ නේවාසික හා සංක‍්‍රමණික පක්ෂි විශේෂ ගණනාවක් වාර්තා කර තිබේ. ඒ අතුරින් වත රතු මල් කොහා (Red - faced Malkoha) ගංගාශ‍්‍රිත වනාන්තරවලින් වාර්තා කර ඇත. දුර්ලභ පක්ෂීන් වන හිස රන් කහකුරුල්ලා (Golden Oriole), ල තඹල බස්සා (Bay Owl),ල රත් කොණ්ඩ කොහා (Chestnut - winged Cuckoo), ල කොඩ කෑරලා (Rufous Woodpecker),ල බඩ රතු රාජාලියා (Roufous - bellied Hawk eagle), ල ගෙබිකට බස්සා (Frogmouth) යන විශේෂ වෙති.
ක්ෂීරපායින් අතුරින් මේ වනාන්තර පද්ධතියෙන් අලින් ගේ සැලකිය යුතු ගහනයක් වාර්තා වෙති. ලංකාවට ආවේණික දුර්ලභ ක්ෂීරපායී විශේෂයක් වන රන් හෝතඹුවා(Golden Palm civet) ඇතුළුව විශේෂ රැුසක් මෙහි වාර්තා වීම විශේෂත්වයකි.
මෙවන් වූ අද්විතීය ජෛව විවිධත්වයක් දරා සිටින අනාරක්ෂිත මේ වනාන්තර පද්ධතියට තර්ජන ගණනාවක් පවතී. සොරගුණේ දේවාලයට අයත් මේ විශාල නින්දගම් ඉඩමේ වනාන්තර කොටස් කුට්ටි කර සොරගුණේ දේවාලයේ බස්නායක නිලමේ විසින් අගනුවර ආශ‍්‍රිත ව්‍යාපාරිකයන් හා රජයේ ප‍්‍රධාන පෙළේ නිලධාරීන් ඇතුළු විවිධ පුද්ගලයන්ට විකිණීම සිදු කරනු ලැබේ. එසේ ලබා ගන්නා වනාන්තර ඉඩම් එළි පෙහෙළි කර රබර්, ගම්මිරිස් වැනි විවිධ වගාවන් සිදු කිරීම හා මැණික් ගැරීම ආදී විවිධ ක‍්‍රියාවන් සිදු කරති. මැණික් ගැරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් මෙම වනාන්තරයේ ඉඩම් ලබාගෙන ඇත. මෙසේ ඉඩම් පැවරීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ගේ අවසරය ලබාගත යුතු වුව ද එවන් කිසිදු අවසරයකින් තොර ව උක්ත නින්දගම් ඉඩමෙහි වනාන්තර බිම් විශාල ප‍්‍රමාණයක් විවිධ ව්‍යාපාරිකයනට හා රජයේ නිලධාරීන්ට පැවරීම සිදු කර ඇත.

මීට අමතර ව සොරගුණේ වනාන්තර ප‍්‍රදේශයේ ඇති තවත් ස්වාභාවික සම්පතක් වන පෙල්ස්පා, කැල්සයිට්, ඩොලමයිට්, තිරුවානා වැනි ඛණිජ වර්ග කැණීම ද සිදු වෙයි. මැණික් කැණීම් හේතුවෙන් ද වනාන්තරයේ ඉතා විශාල ප‍්‍රමාණයක් මේ වන විට විනාශයට ලක් ව තිබේ. මී, කොන්, වෙලන් වැනි ශාක, වනාන්තරය තුළ ම විශාල වශයෙන් ඉරා කුට්ටි කර ප‍්‍රවාහනය කිරීම සිදු වේ. හල්දුමුල්ල ප‍්‍රදේශයේ සිට පතහගම හරහා මෙකී වනාන්තරය තුළට අලූතින් මාර්ගයක් සකස් කර දැව ප‍්‍රවාහන කටයුතු සිදු කිරීමට දැනට සූදානමක් පවතී. හල්දුමුල්ල ප‍්‍රාදේශීය ලේකම්වරයා මේ කටයුතු සිදු කිරීමට ක‍්‍රියාමාර්ග ගනිමින් සිටියි. මෙකී ඉඩම්වල දැව හෙළීම් සඳහා පළමු ව අවසර ලබා දීම් සිදු කැරුණේ බෞද්ධ කටයුතු අමාත්‍යංශය මඟිනි. එහෙත් අද වන විට දැව හෙළීම සඳහා අවසර ලබා දීම ප‍්‍රාදේශීය ලේකම් විසින් සිදු කරනු ලැබේ. මේ හේතුවෙන් ප‍්‍රශ්නය තවත් උග‍්‍ර අතට පත් ව තිබේ. සොරගුණේ දේවාලයට අයත් අක්කර 12000 ක් වන නින්දගම් වනාන්තරයේ ඉඩම් වරින් වර විශාල වශයෙන් එළි පෙහෙළි කිරීම හේතුවෙන් මේ ආශ‍්‍රිත ව වනාන්තර පද්ධතියක් ලෙස අලි - ඇතුන්ට ලබා දුන් ආරක්ෂාව අද වන විට වැනසී යමින් පවතී. එබැවින් නෙළුයාය, රජවක, තැන්න, පැරකුම් යාය, කල්තොට, ඉළුක්පැළැස්ස ආදී ප‍්‍රදේශවල ගම්මානවලට අලි තර්ජන දැඩි ලෙස උද්ගත වෙමින් පවතී.
මෙකී සමස්ත ප‍්‍රදේශයේ අලි - මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ආරක්ෂිත වනාන්තර පද්ධතියක් ගොඩනැඟීම හා ඒ ස`දහා නිවැරැදි ඒකාබද්ධ සැළසුමක් වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සකස් කළ යුතු ය. එමඟින් සමනළ වැව ජලාශයේ සිට බදුලූදෙන, වේලිඔය, කල්තොට, සොරගුණේ, මහලන්ද, සිරිපුර වැව දක්වා සමස්ත ප‍්‍රදේශය දහයියාගල අභය භූමියට සම්බන්ධ කළ හැකි ය. එතැන් සිට උඩවලව ජාතික වනෝද්‍යානයටත්, වැටහිරකන්ද ස්වභාව රක්ෂිතය හරහා ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයටත් එහි සිට යාල වන සංකීර්ණය දක්වාත් අලි - ඇතුන් ගේ වාසස්ථාන සහ සාම්ප‍්‍රදායික සංක‍්‍රමණික මාර්ග සංරක්ෂණය කළ හැකි අතර, වනාන්තර පද්ධතියක් ලෙස මේ ආරක්ෂිත ප‍්‍රදේශ ජාලය වනජීවීන් වෙනුවෙන් සුරක්ෂිත කළ හැකි වනු ඇත.
සජීව චාමිකර පරිසර සංරක්ෂණ භාරය