Share on facebook

පාරිසරික

උතුරු හා නැගෙනහිර වන රක්ෂිත වැනසීම අඛණ්ඩව සිදු කෙරේ

1උතුරු හා නැගෙනහිර පලාත් දෙකට අයත් වව්නියාව, මුලතිව්, මන්නාරම හා අම්පාර දිස්ති‍්‍රක්ක වල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආරක්ෂිත ප‍්‍රදේශ 17 ක වනාන්තර අක්කර 16500 ක් පමණ එළි පෙහෙළි කරමින් අලූතින් ජනාවාස පිහිටුවීම හා වගා බිම් ව්‍යාප්ත කිරීම නීති විරෝධී ලෙස සිදු කෙරෙමින් පවතින බව අප විසින් සිදු කළ අධ්‍යයනයකට අනුව අනාවරණය වී තිබේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිහඬව සිටිය දී වන රක්ෂිත නවයක හා රජයට අයත් වනාන්තර ප‍්‍රදේශ අටක මෙම වනාන්තර විනාශය සිදු කෙරේ. පසුගිය රජය පැවති සමයේ ආරම්භ වූ මෙම දැවැන්ත වන විනාශය වත්මන් රජයේ පාලනය යටතේ ද අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.

මෙම සියලූ වන විනාශයන් සිදු කරන්නේ වන සංරක්ෂණ ආඥ පනත, ජාතික පාරිසරික පනත, පුරා වස්තු ආඥ පනත හා රජයේ ඉඩම් ආඥ පනත යන අණ පනත් සියල්ල උල්ලංඝනය කරමිනි. මෙම මහ පරිමාණ වන විනාශයන් හේතුවෙන් වැව් හා ගංගා වල ජල පෝෂක ප‍්‍රදේශ අහිමි වීම, අලි - ඇතුන්ගේ වාසස්ථාන අහිමි වීම හා ඛණ්ඩනය වීම වැනි හේතූ වල ප‍්‍රතිඵලයක් ලෙස ජල අර්බුධ උග‍්‍ර වීම මෙන්ම අලි - මිනිස් ගැටුම උග‍්‍ර වීම ඇතුළු හානිකර තත්ත්වයන් රැුසක් මේ වන විට උද්ගතව තිබේ.

නීති විරෝධීව විනාශ කරන ආරක්ෂිත ප‍්‍රදේශ අතර මරිච්චුක්කඞ්ඩි - කරඩික්කුලි වන රක්ෂිතය, කරුන්කාලිපුරම් වන රක්ෂිතය, මඩුපාර වන රක්ෂිතය, පුවරසන්කුලම් වන රක්ෂිතය, කුලාමරිප්පු වන රක්ෂිතය, නාගන්චෝලෙයි වන රක්ෂිතය, ඉරසෙන්තිරම්කුලම් වන රක්ෂිතය, වඩකාඩු වනාන්තරය, කාකේනිකුලම් වනාන්තරය, පෙරියමඩු වනාන්තරය, ඔඞ්ඩුසුඩාන් වනාන්තරය, මුහුදුබඩ පත්තු වනාන්තරය, කරඩික්කුලි රජයේ කැලය, සාලම්බයිකුලම් වනාන්තරය හා සුදුවෙත්තකුලම් වනාන්තරය යන රක්ෂිත වනාන්තර හා රජයේ වනාන්තර බිම් වේ. මෙම වනාන්තර එළි පෙහෙළි කරමින් ජනාවාස පිහිටුවීම සිදු කෙරෙමින් පවතී. මීට අමතරව කුඹුක්කන වන රක්ෂිතය හා බක්මිටියාව - තිබිරිගොල්ල වන රක්ෂිතය එළි පෙහෙළි කරමින් වගා බිම් ව්‍යාප්ත කිරීම ද සිදු කෙරෙමින් පවතී.

222වව්නියාව දිස්ති‍්‍රක්කයේ පිහිටි සුවිශේෂී වනාන්තරයක් වන කරුන්කාලිපුරම් වන රක්ෂිතයේ අක්කර 5000 ක් පමණ ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම එළි පෙහෙළි කර ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා යුධ හමුදාව එක් වී ජනතාව පදිංචි කිරීමේ කටයුතු සිදු කෙරේ. 1940 ජුනි 7 වන දින අංක 8620 දරන ගැසට් නිවේදනය මඟින් හා පසුව 1985 ඔක්තෝම්බර් 15 වන දින 371/7 දරන ගැසට් නිවේදනය මඟින් නැවත රක්ෂිතයක් බවට ප‍්‍රකාශයට පත් කළ මෙම වන රක්ෂිතයේ මුළු භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 8432 කකි. පළමු අදියර යටතේ පසුගිය රජය පැවති සමයේ අක්කර 5000 ක් සම්පූර්ණයෙන්ම එළි කර ජනතාව පදිංචි කළ අතර මෙම වන රක්ෂිතයේ ප‍්‍රමුඛව පැවති කළුවර ශාක දැව ජාවාරම ඉතා බහුල ලෙස සිදු කෙරින. මහවැලි එල් කලාපය ලෙස මෙම ප‍්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා මෙම වන විනාශයන් නීති විරෝධී ලෙස සිදු කෙරින. මෙම වනාන්තර විනාශය හේතුවෙන් උද්ගත වූ අධික අලි - මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා මේ වන විට වන රක්ෂිතය දෙකඩ කරමින් විදුලි වැටවල් ඉදි කර ඇත. මේ හේතුවෙන් අලි - ඇතුන්ගේ වාසස්ථාන තව දුරටත් ඛණ්ඩනය වී තිබේ. මීට අමතරව තව දුරටත් මෙම වන රක්ෂිතයේ ජනතාව පදිංචි කිරීම සඳහා තවත් වනාන්තර අක්කර 3000 ක් ලබා ගැනීමට යුධ හමුදාව විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මස දී වව්නියාව ප‍්‍රාදේශීය ලේකම් වෙතින් ඉල්ලීම් කර තිබේ. නමුත් අපගේ දැඩි බලපෑම මත එම වනාන්තර ඉඩම් නිදහස් කිරීම මේ වන විට තාවකාලිකව නතර කර තිබේ.  

අද වන විට වව්නියාව, මුලතිව් හා මන්නාරම යන දිස්ති‍්‍රක්ක තුනෙහි වන රක්ෂිත හයකට හා රජයේ වනාන්තර බිම් අටකට අයත් වනාන්තර අක්කර 10438 ක් එළි පෙහෙළි කරමින් අමාත්‍ය රිශාඞ් බදියුරුදීන් මහතාගේ සෘජු මෙහෙයවීම මත අලූතින් ජනාවාස පිහිටුවීම සිදු කරනු ලැබේ. මේ අතුරින් පසුගිය කාලය තුළ දී මහත් ආන්දෝලනයකට ලක් වූයේ විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වනාන්තර බිම් වල නීතී විරෝධීව ජනතාව පදිංචි කිරීමය. මෙම වනාන්තර බිම් කල් ආරු ඔයේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශ ලෙස සැලකෙන කල් ආරු වනාන්තරය නැතහොත් මරිච්චික්කඞ්ඩි - කරඩික්කුලි වන රක්ෂිතයට අයත් ය. එහි වනාන්තර අක්කර 3000 ක් පමණ නීති විරෝධී ලෙස එළි කරමින් අලූතින් ජනාවාස පිහිටුවීම හා රිශාඞ් බදියුරුදීන් මහතා විසින් පෞද්ගලිකව වනාන්තර බිම් අත්පත් කර ගැනීම සිදු විය.

මේ අතරතුර නැවතත් රිෂාඞ් බදියුර්දීන් ඇමතිතුමාගේ මැදිහත් වීම මත මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, මුසලි ප‍්‍රාදේශීය ලේකම් හා නාවික හමුදාවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡුාවක් පවත්වා ඇත්තේ මරිච්චුක්කඞ්ඩි ප‍්‍රදේශයේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ වනාන්තර අක්කර 900ක් නැවත ලබා ගෙන අලූතින් ජනාවාස පිහිටු වීමට හා වගාබිම් ස්ථාපිත කිරීමට සැලසුම් කිරීමට ය. එය යහපාලන රජය තුළ දී ක‍්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා විසින් දැඩි උත්සාහයක නිරත වේ.

එ් තත්ත්වය එ් අයුරින් සිදු වෙද්දී වව්නියාව දිස්ති‍්‍රක්කයේ සෙට්ටිකුලම් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඉරසෙන්තිරම්කුලම් වන රක්ෂිතයේ අක්කර 100 ක් පමණ සම්පූර්ණයෙන්ම එළි පෙහෙළි කර අලූතින් ජනාවාස පිහිටුවීමේ කටයුතු පසුගිය කාලය තුළ දී කි‍්‍රයාත්මක කෙරින. පාවක්කුලම් වැව ආශි‍්‍රතව මෙම විශාල වන විනාශය හා අලූතින් ජනාවාස පිහිටුවීමේ කටයුතු සිදු කෙරින.
පසුගිය රජය පැවති කාල සීමාව තුළ හා දින සියයේ වැඩ පිළිවෙල කි‍්‍රයාත්මක වූ කාල වකවානුව තුළ මේ නීති විරෝධී වනාන්තර විනාශය හා අලූතින් ජනාවාස පිහිටුවීම පිළිබඳව අප විසින් රජයේ අවධානයට යොමු කෙරුව ද මේ තත්ත්වය පිටු දැකීම සඳහා කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගැනින. එහි ප‍්‍රතිඵලයක් ලෙස සිදු වූයේ යහපාලන ආණ්ඩුව තුළ ද රිශාඞ් බදියුරුදීන් අමාත්‍යවරයාට රිසිසේ වනාන්තර එළි කරමින් අලූතින් ජනාවාස පිහිටුවීමට අඛණ්ඩව ඉඩ හසර ලබා දීමය.

සමහරුන් මීට එරෙහිව කටයුතු කිරීම ජාතිවාදී ද්‍රෘෂ්ථීකෝණයකින් බලා එම කි‍්‍රයාවන් සාධාරනීකරණය කිරීමට උත්සාහ දැරීය. නමුත් අප විසින් දිගින් දිගටම අවධාරණය කළේ නීති විරෝධී වනාන්තර විනාශ කිරීමෙන් සිදු වන හානි පිළිබඳව ය. එ් පිළිබඳව බලධාරීන් ඇහුම්කන් නොදීම හේතුවෙන් අද වන විට ජාතිවාදී ගැටුම් තත්ත්වයට මෙය පරිවර්ථනය වෙමින් පවතී. yal1

රිශාඞ් බදියුරුදීන් අමාත්‍යවරයාගේ ආධාරකරුවන් විසින් මුලතිව් දිස්ති‍්‍රක්කයේ මඩු වන රක්ෂිතයේ, කොන්ඩියාකුප්පම් ප‍්‍රදේශයේ අක්කර 600 ක් එළි පෙහෙළි කරමින් අලූතින් ජනාවාස පිහිටුවීමට එරෙහිව දෙමල ජාතික සංධානයේ නියෝජිතයින් පිරිසක් විසින් දැඩි බලපෑමක් එල්ල කර තිබේ. එහිදී ඔවුන් අතර ගැටුම් පවා හට ගෙන ඇත. මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බව අප අවබෝධ කර ගෙන මීට ප‍්‍රථම මෙම කි‍්‍රයාවලිය නතර කිරීමට නීතිය කි‍්‍රයාත්මක කවන ලෙසට අදාළ අංශ දැනුම්වත් කළ ද ඔවුන් කි‍්‍රයා නොකිරීමේ ප‍්‍රතිඵල අද වන විට අහිතකර ලෙස මතු වෙමින් පවතී.
උතුරු - නැගෙනහිර යුද්ධය පැවති සමයේ දී අවතැන් වූ ජනතාව යුද්ධයෙන් පසුව නිසි පරිදි ඔවුන්ගේ පාරම්පරික ඉඩම් වල නැවත පදිංචි කිරීමට පසුගිය රජය හා වත්මන් රජය විසින් නිසි කි‍්‍රයාමාර්ග නොගැනීමේ ප‍්‍රතිඵල ලෙස මේ තත්ත්වය උද්ගතව තිබේ. ජාතික සැලැසුමකින් තොරව රිශාඞ් බදියුරුදීන් අමාත්‍යවරයාට රිසිසේ නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දීමේ ප‍්‍රතිඵලයක් ලෙස මේ තත්ත්වය උද්ගතව තිබේ.

සැබෑ ලෙසම යුද්ධයෙන් අවතැන් වූවන් තවම අනාථ කඳවුරු වල සිටිය දී අලූතින් ජනතාව උතුරු - නැගෙනහිර ප‍්‍රදේශ වල පදිංචි කරමින් එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්ථවාදීන්ගෙන් මුදා ගත් ප‍්‍රදේශ වැරදි ලෙස භාවිතයට ගැනීමෙන් නැවතත් උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ වල ජීවත්වන පාරම්පරික ජන කණ්ඩායම් අතර අනවශ්‍ය ගැටුමක් මතු වනු ඇත. මේ තත්ත්වය වර්ධනය නොවීමට නම් රජය නිසි පරිදි මේ සඳහා මැදිහත් විය යුතුව ඇත.

මේ වන විට නැගෙනහිර පලාතේ අම්පාර දිස්ති‍්‍රක්කයේ කුඹුක්කන වන රක්ෂිතය හා බක්මිටියාව - තිබිරිගොල්ල වන රක්ෂිතය එළි පෙහෙළි කරමින් මහ පරිමාණ වගා බිම් ව්‍යාප්ත කිරීමේ කටයුතු ද සිදු කෙරේ. මේ කි‍්‍රයාවන් මෙහෙයවනු ලබන්නේ එ්. එල්. එම්. අතවුල්ලා හා රවුෆ හකීම් යන මහත්වරුන් විසිනි. මේ වන විට බක්මිටියාව - තිබිරිගොල්ල වන රක්ෂිතයේ වට්ටමඩු ප‍්‍රදේශයේ අක්කර 1000 ක් එළි කර නීති විරෝධීව වගා බිම් ව්‍යාප්ත කර ඇති අතර කුුඹුක්කන වන රක්ෂිතයේ රදැල්ල ප‍්‍රදේශයේ අක්කර 70 ක් පමණ එළි කර අලූතින් වගා බිම් ව්‍යාප්ත කරනු ලැබේ.
මෙලෙස වන රක්ෂිත එළිපෙහෙළි කර ජනතාව පදිංචි කිරීම හා වගා බිම් ස්ථාපිත කිරීම සිදු කර ඇත්තේ 2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 7 වන වගන්තිය උල්ලංඝණය කරමිනි. එම වගන්තියට අනුව වන රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළු වීම, රැුදී සිටීම, ශාක කපා ඉවත් කිරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, එවායේ පදිංචි වීම, මාර්ග සකස් කිරීම හා වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී වේ. එවන් වරදක් සිදු කරන පුද්ගලයකු හෝ ඒ ස`දහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරද කරුවකු වෙයි. එවන් වරදක් ස`දහා වැරදිකරුවකු වන පුද්ගලයකු වසර 05 ක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් ලක්ෂයත් දස ලක්ෂයත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වන රක්ෂිතයට කරන ලද විනාශය සඳහා අධිකරණය මඟින් නියම කරන දඬ මුදලකට ද යටත් කළ හැකි ය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර බිම් එළිපෙහෙළි කර ජනතාව පදිංචි කිරීම සිදු කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය උල්ලංඝණය කරමිනි. එම වනාන්තර එළි පෙහෙළ කිරීම, ශාක කපා ඉවත් කිරීම, මාර්ග සකස් කිරීම, ස්ථීර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, ඒවායේ පදිංචි වීම, වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී ක‍්‍රියාවකි. එවන් නීති විරෝධි ක‍්‍රියාවල නිරතව සිටින පුද්ගලයෙකු හෝ ඒ ස`දහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු ද වරදකරුවකු වේ. එවන් ක‍්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරද කරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොයික්මවන කාලයක් ස`දහා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරණ ලද හානිය ස`දහා අධිකරණය ම`ගින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි ය.

මෙවන් දැඩි නීති රීති යටතේ මෙම වනාන්තර පාලනය වුව ද වන සංරක්ෂණ ආඥ පනත උල්ලංඝනය කරමින් උතුරු හා නැගෙනහිර පලාත් වල ආරක්ෂිත වනාන්තර 17 කට අයත් වනාන්තර බිම් විනාශ කිරීමට එරෙහිව කිසිදු කි‍්‍රයාමාර්ගයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙතෙක් ගෙන නොමැති වීම ඉතාම කණගාටුදායක තත්ත්වයකි.

වන සංරක්ෂණ ආඥා පනත පමණක් නොව ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥා පනත යන අනපනත් උල්ලංඝණය කරමින් මෙම වනාන්තර එළි පෙහෙළි කිරීම, අලූතින් ජනාවාස පිහිටු වීම හා වගා බිම් ස්ථාපිත කිරීම සිදු කර ඇත. 1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතේ 23ප වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යපෘතියක් සඳහා යොදා ගැනීමට ප‍්‍රථමයෙන් හෝ පවුල් 100 කට වැඩි ප‍්‍රමාණයක් එක වර පදිංචි කිරීමේ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් හෝ වන රක්ෂිතයක් තුළ හෝ එහි මායිමේ සිට මීටර් 100 ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එවන් කිසිදු ක‍්‍රියාමාර්ගයකට මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් යොමු වී නොමැත. නමුත් ඊට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය විසින් ද මෙතෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව පවුල් නැවත පදිංචි කිරීමට ප‍්‍රථම, හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප‍්‍රථම හා පදිංචිය ස`දහා නිවාස සංකීර්ණ ඉදිකිරීමට ප‍්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ ස`දහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එවන් අනුමැතියකින් තොරව මෙම සියළු වනාන්තරය එළි පෙහෙළි කරමින් මහා පරිමාණ ජනාවාස පිහිටු වීමට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද මේ වන තුරුත් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

333මෙම අණ පනත් උල්ලංඝනය කරමින් මහින්ද රාජපක්ෂ රජය පැවති සමයේ දී ආරම්භ කළ මෙම වන විනාශයන් හා නීති විරෝධී ජනාවාස ව්‍යාප්ත කිරීම මෙන්ම වගා බිම් ව්‍යාප්ත කිරීමේ කටයුතු වත්මන් යහපාලන රජය තුළ ද අඛණ්ඩව සිදු කෙරෙමින් පැවතීම කණගාටුවට කරුණකි. මේ සියල්ල පිටුදකිමින් බලයට පත් වූ රජයකින් මෙවන් තත්ත්වක් බලාපොරොත්තු විය නොහැකිය.
මෙවර ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ‘‘මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක්’’ මැයෙන් ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ 31 පිටුවේ සොබාදහම රැුක ගැනීම කොටසේ සඳහන් වන්නේ වන විනාශය වැළැක්වීමට හා සංවේදී පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා තරාතිරම නොබලා පරිසර නීති කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පසුබිම ගොඩ නගන බවය. නමුත් එ් තත්ත්වය ගොඩනැගීමට මාස 10 කට වැඩි කාලයක් ගත වුව ද තවම අපොහොසත් වී ඇත. මේ නිසා උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ වල සංවේදී පරිසර පද්ධති රජයේ අමාත්‍යවරුන්ගේ මැදිහත් වීම මත සීග‍්‍රයෙන් එළි පෙහෙළි කරමින් පවතී.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ‘‘මාස 60 කින් අලූත් රටක් හදන පංච විධ කි‍්‍රයාවලිය’’ ලෙස එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ 18 වන පිටුවේ තිරසර සංවර්ධනය කොටසෙහි සඳහන් කර ඇත්තේ රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කිරීමට කටයුතු කරන බවය. නමුත් මේ සියල්ල ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල වගන්ති වලට පමණක් සීමා වී ඇති බව පෙනෙන්නට තිබේ. එ්වා යතාර්ථයක් බවට පත් කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට නොමැත.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන හා පරිසර වැඩසටහන යටතේ කි‍්‍රයාත්මක වන මෙරට වනාන්තර හායනය හා ඛණ්ඩනය වීම වැළැක්වීම සඳහා වන මහා ව්‍යාපෘති සැලැසුම ඩොලර් මිලියන ගණනක් වැය කර සකස් කරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල දැවැන්ත වන විනාශයන් නොපෙනීම පුදුමයට කරුණකි.
මෙම සැලැසුම් සකස් කර කි‍්‍රයාත්මක කරන අවධිය වන විට බොහෝ වන රක්ෂිත හා වනාන්තර ඛණ්ඩනය වීම හා හායනය වීම නැවත ආපස්සට හැරවිය නොහැකි තත්ත්වයට පත් වී තිබෙනු ඇත. අවශ්‍ය වන්නේ මෙම සැලැසුම් සකස් කරන අතරතුර  දැනට ඉතිරි වී තිබෙන සියළු රක්ෂිත හා අවශේෂ වනාන්තර සියල්ල ආරක්ෂා කිරීමට දැනට පවතින නීති රීති අපක්ෂපාතීව කි‍්‍රයාවට නැංවීමය. එසේ නොමැති වුවහොත් පසුගිය රජයේ බැසිල් රාජපක්ෂ, රිශාඞ් බදියුරුදීන්, නාමල් රාජපක්ෂ වැනි මැති ඇමතිවරුන්ට රිසිසේ උතුරු හා නැගෙනහිර වන රක්ෂිත වැනසුවා සේම වත්මන් යහපාලන රජයේ රිශාඞ් බදියුරුදීන් වැනි ඇමැතිවරුන්ට රිසි සේ උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ වල වන රක්ෂිත සියල්ලම වනසා දමා අවසන් වන කාලය වැඩි ඈතක නොවනු ඇත.nama1111

 

[සජීව චාමිකර පරිසර සංරක්ෂණ භාරය]

vivara-fm

vivara-tv

Piya-Luogo

කුලවාදයට එරෙහිව නැගී සිටි හාර්දික් පටෙල් අත්අඩංගුවට

ගුජරාට් ප්‍රන්තයේ ක්‍රියාත්මක කළ විරෝධතා රැලි සඳහා නායකත්වය ලබා දුන් හාර්දික් පටෙල් අත්අඩංගුවට ගැනිමට ප්‍රාන්ත පොලිසිය කටයුතු කර තිබේ. ඉන්දියාවේ පටෙල්...