පාරිසරික

ලංකා ඉතිහාසයේ වැඩිම ඉඩම් කොල්ලය ඌවෙන්

1ඌව වෙල්ලස්ස ජනතාවගේ ඉඩම් අයිතිය උල්ලංඝනය කරමින් පසුගිය වසර කිහිපය තුළ ජනතාවගේ හේන් වගා බිම් ඇතුළු ව වනාන්තර ඉඩම් අක්කර 50,000 ක් පමණ විදේශීය බහු ජාතික සමාගම් වලට හා මහ පරිමාණ සමාගම් වලට ඌවේ දේශපාලකයන්ගේ මැදිහත්වීම මත ලබා දී තිබේ. මේ හේතුවෙන් උද්ගත වී ඇති දැවැන්ත ජල අර්බුද, වගා කළ හැකි බිම් සීමා වීම, අලි - මිනිස් ගැටුම උග‍්‍ර වීම වැනි හානි කර තත්ත්වයන් බොහොමයක ප‍්‍රතිඵලයක් ලෙස ඌවේ බොහෝ ගොවි ජනතාව කෘෂිකර්මාන්තයෙන් ඉවත් ව ඇති බව ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානයේ මෙහෙයවීම මත පරිසර සංරක්ෂණ භාරය, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය, ප‍්‍රජා අභිලාෂ ජාලය, ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය, සවිස්ති‍්‍ර සංවිධානය හා ශී‍්‍ර ලංකා සොබා සාමූහිකය යන සිවිල් සංවිධාන එක් ව සිදු කරන ලද අධ්‍යයනයකට අනුව අනාවරණය විය.

ලංකා ඉතිහාසයේ වැඩිම ඉඩම් කොල්ලයකට නතු වූ ප‍්‍රදේශය වන්නේ ඌව පළාත ය. බහු ජාතික සමාගම්වලට වැඩි ම ඉඩම් ප‍්‍රමාණයක් ලබා දී ඇති දිස්ති‍්‍රක්කය වන්නේ ද ඌව පළාතේ මොණරාගල දිස්ති‍්‍රක්කයයි. එය උක් වගාව ආරම්භ කළ මෑත අතීතයේ පමණක් නොව වර්තමානය වන විට ද ඒ ආකාරයෙන් ම සිදු වෙමින් පවතී. මේ නිසා ම ඌව පළාතේ ජනතාව සමාජ, ආර්ථික, පාරිසරික, කෘෂිකාර්මික, අධ්‍යාපනික හා සෞඛ්‍ය යන සියලූ ක්ෂේත‍්‍රවලින් දැවැන්ත කඩා වැටීමක ට ලක් ව සිටි. යල, මහ දෙකන්නය නිසි පරිදි වගා කර ගැනීමට නොහැකි තත්වයකට මේ ප‍්‍රදේශයේ කෘෂිකාර්මික ජනතාව පත් ව සිටින්නේත් කෙටි නියං සමයක් ආරම්භ වන විට ම දැවැන්ත ජල අර්බුදයකට මුහුණ දීමට මේ ප‍්‍රදේශයේ ජනතාවට සිදු වන්නේත් මේ නිසා ය.

අතීතයේ වෙල් ලක්ෂයකට හිමිකම් කී ඌව වෙල්ලස්ස ප‍්‍රදේශය මුළු දිවයිනට ම බත සැපයීමට තරම් හැකියාවක් පැවති කුඹුරු අක්කර සිය දහස් ගණනක් යල මහ දෙකන්නය වගා කළ හැකි ප‍්‍රදේශයක් ව පැවතුනි. වැව් පද්ධති මේ පළාත පුරාම විසිර පැවතුනේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය හා කෘෂිකාර්මික ජලය නිසි පරිදි ලබා දීම අරමුණු කර ගෙන ය. නමුත් අද වන විට කෘෂිකර්මාන්තයත්, වැව් පද්ධතියත් යන සියල්ලම ඌවේ ජනතාවට අහිමි වී ඇත. කෘෂිකාර්මික බිම් අතිබහුතරයක් පිටරට බහුජාතික සමාගම් වලට හා මහා පරිමාණ සමාගම් වලට ලබා දී තිබේ. වැව් ඇතුළු බොහෝ ජල පද්ධතිවල ජලය පරිභෝජනය කරන්නේ මේ සමාගම් විසිනි. එතැනින් නොනවතින මේ සමාගම් ඌවේ පසත්, ජලයත්, ජනතාවත් කෘෂිරසායන වලින් දැවැන්ත දූෂණයකට ලක් කර තිබේ. මෙය මෑත ඉතිහාසයේ දී ඌව පළාතට සිදු වූ දැවැන්ත ඛේදවාචකයකි. මේ බහු ජාතික හා මහා පරිමාණ සමාගම් පවත්වා ගෙන යන වගා බිමිවලට යොදන අධික රසායනික ද්‍රව්‍ය හේතුවෙන් මේ ප‍්‍රදේශයේ වකුගඩු රෝගය අද වන විට දරුණු ලෙස වර්ධනය වෙමින් පවති.

වර්ෂ 1818 දී ඌව වෙල්ලස්ස සටන ජය ගැනීම සඳහා රොබට් බ‍්‍රව‍්‍රන්රික් ආණ්ඩුකාරවරයා විසින් වැව්, කුඹුරු ඇතුළු සමස්තය විනාශ කරමින් ඌව වෙල්ලස්සේ ජනතාව සමූල ඝාතනය කෙරින. අද වන විට ඉඩම් කොල්ලය හරහා ඌවේ දේශපාලකයින් සිදු කරන්නේ ද මේ කි‍්‍රයාවලියම ය.

මේ දැවැන්ත ඉඩම් කොල්ලයත් සමඟ ම අලි - ඇතුන්ගේ වාසස්ථාන විශාල වශයෙන් එළි පෙහෙළි කිරීමෙන් අලි ගම් වැදීමේ තර්ජන උග‍්‍ර වී තිබේ. විශාල වනාන්තර ප‍්‍රදේශයක් එකවර විනාශ කිරීම හේතුවෙන් මේ ප‍්‍රදේශය කාලගුණික හා දේශගුණික විපර්යාස වලට ගොදුරු වී ඇත. මේ සියල්ලේ ම ප‍්‍රතිඵලයක් ලෙස කෘෂිකාර්මික ජනතාව ක‍්‍රම ක‍්‍රමයෙන් කෘෂිකර්මාන්තයෙන් ඉවත් වෙමින් කම්කරුවන්ගේ තත්වයට පත්ව සිටී. මින් නොනැවතී මේ ඉඩම් කොල්ලය අඛණ්ඩව ඌව පලාත පුරා අද වන විටත් කි‍්‍රයාත්මක වීමෙන් ඌව පලාතේ ජනතාව ලංකාවේ වැඩි ම දරිද්‍රතාවයෙන් පෙළෙන, අධ්‍යාපන මට්ටම හා සෞඛ්‍ය මට්ටම අවම තත්වයක සිටින ජනතාවක් බවට පත් කර ඇත.

මේ ඉඩම් කොල්ලයෙන් උද්ගත වී ඇති උග‍්‍ර ජල හිගය හා වාසස්ථාන අහිමි වූ අලි - ඇතුන්ගෙන් සිදුවන වගා හානි ඇතුළු අහිතකර කි‍්‍රයාවල ප‍්‍රතිඵලයක් ලෙස බොහෝ ගොවි ජනතාව කෘෂිකර්මාන්තයෙන්් ඉවත් වීමෙන් ඇති වී තිබෙන සමාජ ආර්ථික ප‍්‍රශ්නවලට අමතර ව ඵලදායී කෘෂිකාර්මික බිම් නිසි පරිදි වගා නොකිරීම හේතුවෙන් රටේ ජනතාවගේ ආහාර අවශ්‍යතාව හා පෝෂණය සපයන වී හා එළවළු අස්වැන්න නොමැති වීමෙන් මේවා ආනයනය කිරීමට හෝ වෙනත් විකල්ප ආහාර ප‍්‍රභවයන් වෙත යොමු වීමට රටේ ජනතාවට සිදු ව තිබේ. ඉන් රටේ ජනතාවගේ සෞඛ්‍යට, පොෂණයට සිදුවන අහිතකර බලපෑම පමණක් නොව අනවශ්‍ය ලෙස රටේ මුදල් ආහාර ආනයනය සඳහා විදේශ රටවලට ගලා යෑම හා අනවශ්‍ය පරිදි ආහාරවල මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකට ලක් වීම ඇතුළු හානිකර තත්වයන් බොහෝමයක් මේ හරහා උද්ගතව තිබේ. මේ අනුව පෙනී යන්නේ රටේ ආහාර සුරක්ෂිතභාවය, ආහාර ස්වෛරීභාවයට පමණක් නොව රටේ ආර්ථිකයට හා ආහාරවල මිල ගණන් ඉහළයාම හා රටේ ජනතාවගේ පෝෂණයට පවා ඌව පළාතේ සිදුවන මහ පරිමාණ ඉඩම් කොල්ලය බලපෑම් ඇති කරන බව ය. නමුත් දේශපාලකයන් ඇතුළු බලධරයන් මුදල් වෙනුවෙන් ඒ සඳහා හවුල්වෙමින් සිටිනු හැර මේ මහ පරිමාණ ඉඩම් කොල්ලයන් පිටුදැකීමට කිසිදු කි‍්‍රයාමර්ගයක් නොගනිති.

මේ සියල්ලට ම වගකිව යුතු වන්නේ ප‍්‍රදේශයේ දේශපාලකයින් හා රටේ ප‍්‍රතිපත්ති තීරකයන් ය. ඔවුන්ගේ මේ වැරදි කි‍්‍රයාමාර්ග නිසා ඌව පලාත තව තවත් දරිද්‍රතාවයේ ගැඹුරට ම වැටීම සිදු වේ. ඉන් නොනැවති ජල අර්බුධ, අලි - මිනිස් ගැටුම් ඇති කිරීම හා සෞඛ්‍ය ප‍්‍රශ්න මතු කිරීම දක්වා එය වර්ධනය වී ඇත. වර්තමානයේ ඌවේ රජ කරන පළාත් සභා හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පමණක් නොව ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් ද සිදු කරනුයේ ඌවේ ජනතාවගේ ඉඩම් කොල්ලකමින් බහුජාතික සමගාම්වලට හා මහා පරිමාණ සමාගම් වලට ලබාදෙමින් ඒ සඳහා අතරමැදියන් ලෙස කටයුතු කරමින් තම ඩිය තර කර ගැනීම ය.

2ඩෝල් සමාගමේ ඉඩම් කොල්ලය - ලෝකයේ අපකීර්තිමත් ඇමරිකානු බහු ජාතික සමාගමක් වන ඩෝල් සමාගම මොණරාගල දිස්ති‍්‍රක්කයේ ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය ආශි‍්‍රත ව ස්ථාන තුනක ඉඩම් අක්කර 4600 ක් කැවැන්ඩිස් නම් කෙසෙල් ප‍්‍රභේදය වගා කිරීමට යොදා ගෙන තිබේ. මීට අමතර ව තනමල්විල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නිකවැව ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි මීගස්වැව ප‍්‍රදේශයේ තවත් ඉඩම් අක්කර 1400 ක් ද ඩෝල් සමාගමට ලබා දී තිබේ. වැල්ලවාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුඩාඔය ප‍්‍රදේශයේ අක්කර 1800ක්, බුත්තල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන්දම, දෙමෝදර ප‍්‍රදේශයේ අක්කර 1600ක් හා බුත්තල, වෑකඩ ප‍්‍රදේශයේ අක්කර 1200ක් බැගින් කැවැන්ඩිස් කෙසෙල් ප‍්‍රභේදය වගා කිරීම සඳහා රජයේ ඉඩම් නීති විරෝධී ලෙස මේ සමාගමට ලබා දී තිබේ.

මේ සියළු වගාබිම් සඳහා එළිපෙහෙළි කර ඇති වනාන්තර බිම් කිරිදි ඔයේ හා මැණික් ගග් ජල පෝෂක ප‍්‍රදේශ වන අතර, ඒවා වෙහෙරගල ජලාශයේ හා ලූණුගම්වෙහෙර ජලාශයේ ජල සුරක්ෂිතතාව රඳා පැවති වනාන්තර බිම් වේ. නමුත් අද වන විට ඒ සියලූ ජල පෝෂක බිම් මේ ජලාශ වලට හා ගංගාවලට සම්පූර්ණයෙන්ම අහිමි වී තිබේ.

කුඩාඔය වගා බිමට කිරිදි ඔයේ විශාල ජල ප‍්‍රමාණයක් ලබාගන්නා අතර, වන්දම හා වෑකඩ වගා බිම්වලට මැණික් ගග් ජලය ලබා ගනී. මෙහි අහිතකර ප‍්‍රතිඵල බුක්තිවිදින්නේ මේ ගංගා පහළ ජීවත්වන ජනතාව හා වනසතුන් ය. වගා බිමට යෙදීමට අධික ජල ප‍්‍රමාණයක් ලබා ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස පහළ ප‍්‍රදේශවල වගා බිම්වලට ලබා ගත හැකි ජල ප‍්‍රමාණය ඉතා විශාල මට්ටමකින් පහළ වැටී තිබේ. ඒ හේතුවෙන් ගොවි ජනතාව බොහෝ වගා බිම් වල වගා කටයුතු වලින් ඉවත් ව සිටී. එපමණක් නොව ලූණුගම්වෙහෙර හා යාල ජාතික වනෝද්‍යානවල ජීවත්වන අලි - ඇතුන් ඇතුළු ව බොහෝ වන සතුන්ට දැවැන්ත ජල හිඟයකට මුහුණ දීමට සිදු වී ඇත්තේ ද කිරිදි ඔයේ හා මැණික් ගගන් අධික ජල ප‍්‍රමාණයක් මෙම වගා බිම් වලට ලබා ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස ය.3

ඩෝල් සමාගමේ මේ සියලූ වගා බිම් ලූනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය ආශි‍්‍රත ව පිහිටි වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර ස්ථාපිත කර ඇති අතර, මේ සියලූ වගා බිම් ආවරණය වන පරිදි විදුලි වැටවල් සකස් කර තිබේ. මේ සියල්ලේ ම ප‍්‍රතිඵලයක් ලෙස අවතැන් වූ අලි - ඇතුන් ගම් වැදීමෙන් ගම්මාන 21 ක් දරුණු ලෙස අලි - මිනිස් ගැටුමට ගොදුරු වී ඇත. මෙතෙක් අලි - මිනිස් ගැටුම නොපැවති බොහෝ ප‍්‍රදේශ හා බොහෝ වගා බිම් අලි - මිනිස් ගැටුමට උග‍්‍ර ලෙස ගොදුරු වෙමන් තිබේ. මහආරගම, පුබුදුගම, උල්කන්ද, තලාකොළ වැව, හඳපානාගල, නෙලූගල, වෙහෙරයාය, රන්දෙනියාය, තෙලූල්ල, සිරිපුරගම, අඳාවෙල යාය, ආනපල්ලම, වැලිආර, දඹේආර, බලහරුව, හම්බෙගමුව, තනමල්විල ආදී ගම්මාන අද වන විට දරුණු ලෙස අලි - මිනිස් ගැටුමට ගොදුරු වී තිබෙන්නේ මේ සමාගමේ ඉඩම් කොල්ලයේ ප‍්‍රතිඵලයක් ලෙස ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස බොහෝ ගොවි ජනතාව වගා බිම් වලින් ඉවත් වී ඇත්තේ අලි - ඇතුන් වගා බිම්වලට හානි කිරීම හා උග‍්‍ර ජල ප‍්‍රශ්නය හේතුවෙනි.

මොණරාගල දිස්ති‍්‍රක්කයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා සහ හිටපු පළාත් මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ හා ඔවුන් වටා සිටින පළාත් සභා හා ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍රවරුන් විසින් මෙන්ම මහ පරිමාණයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් ඩෝල් සමාගමේ මේ සියලූ කි‍්‍රයාවලට උදව් උපකාර කරනු ලැබේ. මොණරාගල දිස්ති‍්‍රක්කයේ පිහිටි රජයේ ඉඩම් මෙම සමාගම සතු කර ගැනීම, පාරිසරික නීති උල්ලංගනය කරමින් ව්‍යාපෘති ආරම්භ කිරීම පමණක් නොව විදුලි වැටවල් සකස් කරමින් ගංගාවල ජලය ලබා ගනිමින් අවට ජනතාව අලි - මිනිස් ගැටුමේ හා ජල අර්බුධයේ ගොදුරක් බවට පත් කරමින් ගැටළුවකින් තොරව ඩෝල් සමාගම පවත්වාගෙන යාම ඇතුළු සියලූ කි‍්‍රයා සිදු කරනු ලබන්නේ මේ දේශපාලකයින් කිහිපදෙනාගේ පූර්ණ මැදිහත් වීම මත ය.


7නෙල්නා සමාගමේ ඉඩම් කොල්ලය - මොණරාගල දිස්ති‍්‍රක්කයේ වැල්ලවාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන්දම, දෙමළිය ප‍්‍රදේශයේ කඩවර වැවට පහළින් ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය ආශි‍්‍රත ව ඉඩම් අක්කර 2000 ක් පමණ අඹ වගා ව්‍යාපෘතියක් සඳහා නෙල්නා සමාගම විසින් මේ වන විට අත්පත් කර ගෙන සිටි. වැල්ලවාය ප‍්‍රාදේශීය සභාවේ සභාපති රෝහණ වන්නිආරච්චි මහතා විසින් පළමු ව මෙම ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 40 ක ප‍්‍රමාණයක් අනවසරයෙන් අත්පත් කර ගෙන සිටි අතර, ඔහු විසින් එම ඉඩම් අක්කර 40 සමග අක්කර 2000 ක් පමණ නෙල්නා සමාගමට ලබා දී තිබේ. මේ සියලූ වනාන්තර ඉඩම් මේ වන විට සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර අඹ වගාව ව්‍යාප්ත කර තිබේ. මේ සම්පූර්ණ වගා බිම ආවරණය වන පරිදි විදුලි වැටක් ඉදි කර ඇත. එම විදුලිවැට සකස් කර ඇත්තේ කුඩා සතෙකුට හෝ වගා භූමියට ඇතුළු විය නොහැකි ලෙස ය.

උමා ඔය ව්‍යාපෘතිය හා ඉඩම් කොල්ලය

ඌව පළාතේ ජනතාවගේ ජලය හම්බන්තොට අවිධිමත් සංවර්ධන කටයුතු වලට යොදා ගැනීමට ආරම්භ කළ ඉතා ම හානි කර උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියට සමගාමීව මහා ඉඩම් කොල්ලයක් මේ වන විට ආරම්භ වී ඇත. උමා ඔය ව්‍යාපෘතිය යටතේ ඇළ මාර්ග සකස් කිරීමට යෝජිත ව ඇති ප‍්‍රදේශ ආශි‍්‍රත ව පිහිටන ඵලදායී ඉඩම් සියල්ලම දේශපාලකයන් මේ වන විට වෙන් කරගෙන තිබේ.

උමාඔය ව්‍යාපෘතියත් සමග ම හඳපානාගල වැව සංවර්ධනය කළ පසුව ඒ මායිමේ පිහිටි ඉඩම්වල හෝටල් ඉදිකිරීම සඳහා දැනටමත් දේශපාලකයන් සියලූ කාර්යයන් කි‍්‍රයාත්මක කර අවසන් කර තිබේ. ඌව මහ ඇමති අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප‍්‍රධාන ආධාරකරුවකු වන වැල්ලවාය ප‍්‍රාදේශීය සභාවේ සභාපති රෝහණ වන්නිආරච්චි මහතා විසින් හඳපානාගල වැව් රක්ෂිතයේ හා ඊට මායිම් වී ඇති රජයට අයත් ඉඩම් මේ වන විට අත්පත් කරගෙන හෝටලයක් ඉදිකරමින් සිටී. උමා ඔය ව්‍යාපෘතිය යටතේ හඳපානාගල වැව සංවර්ධනය කිරීමේ දී අවතැන් වන ජනතාව නැවත පදිංචි කරන ස්ථාන පිළිබඳ ව හෝ නොදැන සුසුම්ලමින් එදිනෙදා දෛනික කටයුතු පවා අතහැර දමා සිටින තත්වයක් තුළ උමා ඔය ව්‍යාපෘතියෙන් වාසි අත්පත් කර ගැනීමට මේ වන විටත් දේශපාලකයන් සියල්ල ආරම්භ කර තිබීම පුදුමයට කරුණකිි. මේ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතියෙන් අවතැන් වන ජනතාවට යුක්තිය හා සාධාරණත්වය ඉටුකර දෙනු වෙනුවට ඔවුන්ගේ මඩිය තර කර ගැනීමට පමණක් දේශපාලකයන් වෙහෙසීම පුදුමයට කරුණකි. මේ පිළිබඳව බුද්ධිමත් ජනතාව නිසි පරිදි අවබෝධ කර ගත යුතු ව ඇත.

තනමල්විල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝදාගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි කතරගම දේවාලයට අයත් වනාන්තර අක්කර 805 ක් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් තම හිතවතෙකුට ලබා දී තිබේ. මේ ඉඩම් වලින් විශාල කොටසක් වනාන්තර ප‍්‍රදේශ වන අතර ඉතිරි කොටස හේන් වගා බිම් වේ. මෙම ඉඩම් වල හේන් වගා කටයුතු වල නිරත වූ ගොවි ජනතාව එ්වායින් ඉවත් කර මේ ඉඩම් පෞද්ගලික අංශය සතු කර ඇත්තේ ඉදිරියේ දී උමා ඔය ව්‍යාපාරය යටතේ ඇළ මාර්ග සකස් කිරීමට යෝජිත ප‍්‍රදේශයක් ලෙස මේ ප‍්‍රදේශ හඳුනාගෙන ඇති බැවින් එ් මඟින් ජලය ලබා ගෙන මේ ප‍්‍රදේශයේ වාණිජ බෝග වගා කිරීම අරමුණු කර ගෙන ය.

බදුල්ල දිස්ති‍්‍රක්කයේ හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බලහරුව, අඹකොලේ ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 1000 ක් පමණ පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදිත් ලොකුබණ්ඩාර මහතා විසින් හා අක්කර 500 ක් පමණ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් වෙන් කර ගෙන තිබේ. මෙසේ වෙන් කර ගෙන ඇති ඉඩම් වලින් වැඩි කොටසක් ගොවි ජනතාවගේ හේන් වගා බිම් ය. කන්දයාය කන්ද හා ගොමදියවල කන්ද අතර පිහිටි විශාල තැනිතලා බිම් ප‍්‍රදේශයක් මේ වන විට ප‍්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන වගා කටයුතු සිදු කෙරේ. මේ ආශිත ව පිහිටි ඉඩම් අක්කර 1000 ක් මේවන විට උදිත් ලොකුබණ්ඩාර මහතා විසින් මැනීම් කර වෙන් කර ගෙන තිබේ. මේ සමස්ථ ප‍්‍රදේශය ම කිරිදි ඔය හා සම්බන්ධ ඌව කුඩා ඔයේ ජල පෝෂක ප‍්‍රදේ්ශ වේ. ඌව කුඩා ඔය කිරිදි ඔය හා සම්බන්ධවන අතර එය ලූණුගම්වෙහෙර ජලාශයට ප‍්‍රධාන වශයෙන් දියවර සපයයි. දැනට මේ ප‍්‍රදේශයේ සිදු කර ඇති මහ පරිමාණ ඉඩම් කොල්ලය හේතුවෙන් ඒ ආශි‍්‍රත ව පිහිටි වැව් ගණනාවක ජල පෝෂක බිම් අහිමි වී තිබේ. කරමැටි ආර වැව, පහළ ගොමදියවල වැව, ඉහළ ගොමදියවල වැව, රන්කෙන්ද වැව, තෙබුආර වැව, බලහරුව වැව ඒ අතර ප‍්‍රධාන වේ. මෙම සමස්ථ ප‍්‍රදේශයම ප‍්‍රධාන අලි ගැවසුම් ප‍්‍රදේශයකි. මෙම මහා පරිමාණ ඉඩම් කොල්ලය සිදු කළ ප‍්‍රදේශ වලට අලි - ඇතුන් පිවිසීම වැළැක්වීම සඳහා පසුගිය දිනවල වනජීවි සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතාගේ මැදිහත් වීමෙන් කිලෝ මිටර 15 ක් පමණ දිග විදුලි වැටක් ගොමදියවල කන්ද පාමුලින් සකස් කර තිබේ. මේ නිසා මෙම කන්ද හා ඒ ආශි‍්‍රත විශාල ප‍්‍රදේශයක ජීවත්වන අලි - ඇතුන්ට කරමැටි ආර වැව ඇතුළු ව අනෙක් වැව් වලට පිවිසීමේ හැකියාව සම්පූර්ණයෙන් ම ඇහිරී ගොස් තිබේ. මෙම විදුලි වැට නිසි සැලසුමකින් තොරව ඉදි කිරීම හේතුවෙන් අලි - ඇතුන් කන්දෙයාය කන්ද හා අඹකොලේ ග‍්‍රාමය ආශි‍්‍රත බොහෝ ප‍්‍රදේශ වල අවතැන්ව සිටි. මෙය එම ප‍්‍රදේශයේ ජනතාවට ප‍්‍රධාන ගැටළුවක් බවට පත් ව තිබේ.

11යාල උතුරේ මහා පරිමාණ ඉඩම් කොල්ලය - යාල ජාතික වනෝද්‍යානයේ උතුරු ප‍්‍රදේශය පුරා ව්‍යාප්තව ඇති වන සංරක්ෂණ දෙපාරත්මේන්තුවට අයත් වනාන්තර අක්කර 30,000ක් පමණ මේ වන විට දේශපාලකයන්ගේ දැවැන්ත ඉඩම් කොල්ලයකට නතු වී තිබේ. ඌව මහ ඇමති අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ ඔහුගේ හිතවතුන් මෙන්ම අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා හා ඔහුගේ හිතවතුන් මෙම ඉඩම් කොල්ලයේ ප‍්‍රමුඛයන් වී සිටී. මේ අතර මොණරාගල ප‍්‍රදේශයේ මහ පරිමාණ ව්‍යාපාරිකයන් කිහිපදෙනකු හා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු ද වෙයි. ඊට අමතර ව බුත්තල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එච්. ආර්. එන්. පේ‍්‍රමරත්න මහතා ද වෙයි. ඔහු විසින් වනාන්තර ඉඩම් අක්කර 100 ක් බලහත්කාරයෙන් අල්ලා ගෙන අගනුවර ව්‍යාපාරකයන්ට විකුණා තිබේ. අනෙක් දේශපාලකයන් විසින් ද සිදු කරනුයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් විශාල වනාන්තර ඉඩම් හේන් වගාවන් සඳහා බලහත්කාරයෙන් අල්ලා ගෙන එළිපෙහෙළි කර බලපත‍්‍ර සකස් කර ඉන් අනතුරුව අගනුවර ආශ‍්‍රිත මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට එම ඉඩම් විකීණීම ය. මෙය මේ ප‍්‍රදේශයේ දැවැන්ත ජාවාරමක් තත්ත්වයට පත්ව තිබේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මේ නීති විරෝධී කි‍්‍රයා වලට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක නොකර දේශපාලකයින්ට රිසිසේ කි‍්‍රයා කිරීමට ඉඩ දී සිටිතී.16

යාල ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි මෙම වනාන්තර ඉඩම් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 3 කට අයත් වේ. මොණරගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තෙනගල්ලන්ද, කහම්බාන, මාරාව, කලූ දිය ඇල්ල, ඉත්තෑකටුව ප‍්‍රදේශවලට අයත් වනාන්තර ඉඩම්, බුත්තල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උපාලිය, නියදැල්ල, රාත‍්‍රී වැව ප‍්‍රදේශයේ පිහිටි වනාන්තර ඉඩම් හා සියඹලාන්ඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොටියාගල, ඇතිමලේ, වත්තේගම ප‍්‍රදේශවල පිහිටි වනාන්තර ඉඩම් මේ වන විට දැවැන්ත ලෙස කොල්ල කෑමට ලක් ව තිබේ. මෙම සම්පූර්ණ වනාන්තර ප‍්‍රදේශය ම අක්කර 10 සිට 300 අතර කොටස්වලට වෙන් කර මහ පරිමාණ හේන් වගාවන් සිදු කරනු ලැබේ.

මේ දැවැන්ත වනාන්තර ඉඩම් කොල්ලය හේතුවෙන් එ් ආශ‍්‍රිත ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව ගැටළු රැසකට මුහුණ දී සිටී. මෙසේ අල්ලා ගෙන ඇති වනාන්තර ඉඩම් එළි පෙහෙළි කිරීම හා විදුලිවැටවල් යොදා මායිමි කිරීම හේතුවෙන් අලි - ඇතුන් අවට ජනතාවගේ වගා බිම් වලට පැමිණීම විශාල ලෙස වර්ධනය වී තිබේ. මේ නිසා ප‍්‍රදේශයේ ජනතාව කෘෂිකාර්මික කටයුතුවල යෙදීමට මගක් නොමැතිව අන්ත අසරණව සිටී. එපමණක් නොව මේ මහ පරිමාණ ඉඩම්වලට ඇළ මාර්ගවලින් හා භූගත ජලය මහා පරිමාණයෙන් ලබා ගැනීම නිසා අවට ප‍්‍රදේශවල ජනතාවට පානීය ජල අර්බුදය මේ වන විට උග‍්‍ර වෙමින් තිබේ. එපමණක් නොව ගොවි ජනතාවගේ හේන් වගා බිම් පවා මෙලෙස ව්‍යාපාරිකයන්ට ලබා දීම හේතුවෙන් වගා බිම් අහිමි ව විශාල ගොවි ජනතාවක් අසරණ ව සිටී.

මේ කිසිවක් ගැන නොතකමින් දේශපාලයන් තමන්ට ලැබුණූ අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් මේ දැවැන්ත ඉඩම් කොල්ලය සිදු කරන්නේ කා වෙනුවෙන් ද යන්න බුද්ධිමත් ජනතාව තේරුම් ගත යුතු ය.

9මරගල කන්දේ ඉඩම් කොල්ලය - මොණරාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාප්තව ඇති මරගල කන්දේ දැවැන්ත ඉඩම් කොල්ලයේ නිරතව සිටින්නේ අමාත්‍ය සුමේදා ජී. ජයසේන මහත්මිය ඇතුළු ඇයගේ හිතවතුන් පිරිසකි. මේ වන විට ඔවුන්ට අයත් ඔල්වින් නමැති සමාගමට මරගල කදු වැටියේ සිරිගල කොටසේ පිහිටි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් අක්කර 500ක් ලබා දී තිබේ. එම ඉඩම් ලබා දී ඇත්තේ රබර් වගාව ව්‍යාප්ත කිරීම සඳහා ය. මේ වන විට වනාන්තර අක්කර 100ක් පමණ එළිපෙහෙළි කර රබර් වගාව ආරම්භ කර තිබේ.

මරගල යනු සුවිශේෂි කදුවැටියකි. එය අරුගම්බේ ප‍්‍රදේශයෙන් මුහුදට එක්වන හැඩ ඔයේ හා පානම ප‍්‍රදේශයෙන් මුහුදට එක් වන විල ඔයේ ප‍්‍රධාන ජල පෝෂක වනාන්තර ප‍්‍රදේශයයි. මරගල වනාන්තරයෙන් පෝෂණය වන හුලංදාව ඔය, විල ඔය හා සම්බන්ධ වන අතර මේ දුවැටි පද්ධතිය මේ සියලූ දියදහරාවන් මනාව පෝෂණය කරයි.

නමුත් අද වන විට මරගල කදුවැටියේ පිහිටි බොහෝ වනාන්තර ඉඩම් සුමේදා ජයසේන අමාත්‍යතුමිය හා ඔහුගේ හිතවතුන් පමණක් නොව එතුමියගේ මාධ්‍ය ලේකම් විජේකෝන් මහතා විසින්, මොණරාගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ආර්. එන්. රත්නවීර මහතා විසින් හා මොණරාගල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සනත් පියසෝම මහතා විසින් ද මෙම ක`දුවැටියේ වනාන්තර අක්කර 20ත් 50ත් අතර ඉඩම් ප‍්‍රමාණයක් නීති විරෝධී ලෙස අල්ලා ගෙන සිටී.10

සිංහලයාගම හා සූරියආර ඉඩම් කොල්ලය - තණමල්විල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සූරිආර ග‍්‍රාම නිලධාරි වසමේ පිහිටි කතරගම දේවාලයට අයත් කුමාරගම වැව හා නයිවල වැව යන වැව් ආශ‍්‍රිතව හා එම වැව්වල ජල පෝෂක ප‍්‍රදේශයට අයත් වනාන්තර ඉඩම් අක්කර 650ක් කොස් මාමා යන අන්වර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයකුට ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ලබා දී තිබේ. ඉන් වනාන්තර අක්කර 300ක් පමණ ඩෝසර් යන්ත‍්‍ර භාවිතයෙන් එළි පෙහෙළි කර අඹ වගා කර තිබේ. මේ වගා ව්‍යාපෘතියේ සේවකයන් ලෙස කටයුතු කරන්නේ මෙම ප‍්‍රදේශයේ ජීවත්වන ගොවි ජනතාව ය. තමන්ගේ හේන් වගා බිම් ඇතුළු ව විශාල වනාන්තර ප‍්‍රදේශයක් මේ වගා ව්‍යාපෘතිය සඳහා ලබා දී ඇති නිසා අසරණ වූ ගොවි ජනතාව අද වන විට එම වගා ව්‍යාපෘතියේ කම්කරුවන් ලෙස සේවය කිරීමට සිදු ව තිබේ.

මීට අමතර ව මෙම ප‍්‍රදේශයේ තවත් වනාන්තර අක්කර 150ක් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු හට ලබා දී තිබේ.තණමල්විල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටම අයත් මහවැව ග‍්‍රාම නිලධාරී වසමේ කලවැල්පල, සිංහලයාගම වැව ආශ‍්‍රිත ව වනාන්තර අක්කර 500 ක් නම වසංකරමින් සමාගමකට ලබා දී තිබේ. දැනට මෙම ප‍්‍රදේශය මැනීම් කර මායිම් සකස් කර අවසන්ව ඇත.

මත්තලට ජලය ගැනීමට උඩවලව වැනසීම - වලවේ ගෙඟ් ජලය හම්බන්තොට අවිධිමත් සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙස බිහි කළ මත්තල ප‍්‍රදේශයට ගෙන යාම සඳහා මේ වන විට වාරි ව්‍යාපෘතියක් හොර රහසේ ක‍්‍රියාත්මක කරයි. මේ ව්‍යාපෘතියෙන් සිදු කරනු ලබන්නේ උඩවලව ජලාශයට ඉහළින් වලවේ ගඟ හරස් කර ජලය ලබා ගෙන එම ජලය උමගක් මගින් උඩවලව ජාතික වනෝද්‍යානය තුළ පිහිටි උඩමව්ආර ජලාශයට ගෙන එ්ම ය. එම ජලය ඇළ මාර්ගයකින් මාගල්ල වැව හරහා මත්තලට ගෙන යාමට නියමිතය. මේ ව්‍යාපෘතිය චීන සමාගමක් මගින් මේ වන විට ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබේ. වලවේගම, 5 කණුව, 6 කණුව, 7 කණුව, උස්වැලි ආර ආදී ගම්මානවල ජනතාව මෙම ව්‍යාපෘතියේ වැඩ බිම් වල කම්කරුවන් ලෙස සේවයේ යෙදේ.

මේ ව්‍යාපෘතිය සඳහා වලවේ ගෙඟ් ජලය ලබා ගැනීම හේතුවෙන් උඩවලව ජලාශයට දැවැන්ත ජල හිඟයකට මුහුණ දීමට සිදු වේ. මේ හේතුවෙන් මොණරාගල දිස්ත‍්‍රික්කයේ සෙවණගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වලව වම් ඉවුර යටතේ වගා කරන සමනළ ගම, ගිනිගල්පැලැස්ස, කිරිඉබ්බන්ආර, හබරලූවැව, සෙවණගල, තුන්ඉරියාව, රන්වැලිගම, 16 ඇළ, හබරුගල, බහිරාව, මහගම, හත්පෝරුව, කුරුගම්වාඩිය, සූරියවැව ආදී ඉතා විශාල ප‍්‍රදේශයක ගොවිජනතාව වගා කටයුතු කර ගත නොහැකිව අවතැන් වේ.

විලඹවැව ඉඩම් කොල්ලය - ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුළ පිහිටි විලඹ වැව ආශ‍්‍රිත ඉඩම් කොල්ල කෑම සඳහා ජගත් පුෂ්පකුමාර අමාත්‍යවරයා හා ගාමිණී විජිත් විජයමුණි සොයිසා අමාත්‍යවරයා අතර දැවැන්ත තරඟයක් පවතී. ප‍්‍රථමයෙන් මෙම වනාන්තර ඉඩම් කොල්ල කෑමට පිඹුරුපත් සැකසුවේ ජගත් පුෂ්පකුමාර අමාත්‍යවරයා විසිනි. නමුත් පරිසරවේදීන්ගේ දැඩි බලපෑම් මත මෙය නතර කිරීමට හැකියාව ලැබුණි.

අද වන විට මෙම ඉඩම් කොල්ලයට යොමු වී සිටින්නේ වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ය. වර්තමානය වන විට ඔහුට අයත් අමාත්‍යාංශය යටතේ පවතින එක ම දෙපාර්තමේන්තුව වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ලූණුගම්වෙරෙ ජාතික වනෝද්‍යානයට අයත් විලඹ වැව කොටසේ පිහිටන වනාන්තර අක්කර 200ක් ඉවත් කිරීමට හා එම කොටස් ඉවත් කර විදුලි වැටක් ඉදිකිරීම සඳහා මේ වන විට සාකච්ඡුාවට කීපයක් ම පවත්වා තිබේ. මෙම ඉඩම් තම පාක්ෂිකයන් අතර බෙදා දීමට එ් අනුව සූදානම් වේ. අමාත්‍යවරයා හා වනජීවී නිලධාරීන් සමඟ මේ පිළිබඳ පැවති අවසාන සාකච්ඡුාවේ දී තීරණය කර ඇත්තේ ගැසට් නිවේදනයක් මඟින් ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට අයත් මෙම වනාන්තර කොටස් ඉවත් කරීමට පියවර ගත යුතු බව ය. තව ද එම වනාන්තර ඉවත් කර විදුලි වැට සැකසීමට ද යෝජනා වී තිබේ. එ් අනුව මේ වන විට අමාත්‍යවරයාගේ අධීක්ෂණය යටතේ අමාත්‍යාංශ නිලධාරීන් කිහිපදෙනෙකු හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අමාත්‍යවරයාට පක්ෂපාත නිලධාරීන් කිහිපදෙනෙකු එක් ව අදාළ ගැසට් නිවේදනය සකස් කරමින් පවතී.

විලඹ වැව ඇතුළු ව ඊට පහළින් පිහිටි ජාතික වනෝද්‍යානයට අයත් වනාන්තර ඉඩම් ගැසට් නිවේදනය මඟින් ඉවත් කර විදුලිවැට ඉදි කළ පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තවත් වනාන්තර අක්කර 800 ක් පමණ මෙම වනාන්තර පද්ධතියෙන් ඉවත් වේ. එ් අනුව මේ හානි කර ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵල ලෙස අලි - ඇතුන්ට අහිමිවන සමස්ත වනාන්තර ප‍්‍රමාණය අක්කර 1000ක් පමණ වේ. එ් සියලූ වනාන්තර වනජීවී සම්පත් අමාත්‍යතුමාගේ අධාරකරුවන් අතර බෙදා දීමට මේ වන විටත් සැලසුම් සකස් කර අවසන් ය. ඌව පළාත් සභා ඡුන්දයට ප‍්‍රථම මෙය නීති වරෝධී ලෙස ක‍්‍රියාවට නැංවීමට උත්සහ කළ ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දැඩි බලපෑම මත මෙය කඩිනමින් සිදු කිරීම නතර විය. නමුත් මෙය දැනට නීත්‍යානුකූල මුහුණුවරකින් සිදු කිරීමට වනජීවී අමාත්‍යවරයා විසින් සැලසුම් සකස් කරමින් සිටී.

ඡුන්ද කිහිපයක් වෙනුවෙන් මේ වනසන්නේ සමස්ත ලාංකිකයන්ට හා සියලූ ජෛව ප‍්‍රජාවට හිමි සම්පත් බව වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා නොසීතීම කණගාටුවට කරුණකි.

වේලිඔය ඉඩම් කොල්ලය - අලි - මිනිස් සහජීවනය බිඳ හෙළමින්, වේලිඔය ව්‍යාපාරය යටතේ යල - මහ දෙකන්නය වගා කළ ජනතාව අවතැන් කරමින් සොරගුණේ දේවාලයේ නින්දගම් ඉඩම්වලට අයත් කොස්ගහමංකඩ වනාන්තරයේ අක්කර 628 ක් එළි පෙහෙළි කර “Eco Golf Resort” නමින් ගොල්ෆ් ක‍්‍රීඩා පිටියක් හා හෝටලයක් ඉදිකිරීමට වනාන්තර මැනීම හා ව්‍යාපෘතිය සැළැසුම් කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතී. පසුගිය දිනවල ව්‍යාපෘති භූමියට පිවිසුම් මාර්ග සැකැසීමේ කටයුතු ද ක‍්‍රියාත්මක විය. හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රන්වන්ගුහාව ග‍්‍රාම නිලධාරී වසමේ දඩයම්පහළගම ග‍්‍රාමයේ පිහිටි වනාන්තර කොටසේ මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වේ. කොළඹ 07, ධර්මපාල මාවතේ අංක 65/බී දරන ස්ථානයේ පිහිටි “Alpha and Omega Developers (Pvt) Ltd” නම් සමාගම විසින් මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කෙරේ.

මේ සඳහා යොදා ගන්නා ඉඩම් සොරගුණේ කුඩා කතරගම දේවාලයට අයත් නින්දගම් ඉඩම් වන අතර බෝගහපට්ටිය - සමනළ වැව අභයභූමිය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත වනාන්තර ඉඩම් ය. මේ වනාන්තර ඉඩම් වේලි ඔය වාරි ව්‍යාපෘතියේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශ වන අතර උඩවලව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි අලි - ඇතුන් ගේ සුවිශේෂී වාසස්ථානයකි.

මේ වනාන්තර බිම් සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ එච්. එම්. ජනක රවීන්ද්‍ර කළුපහන මහතා විසින් වරින්වර වංචනික ලෙස විවිධ පුද්ගලයින්ට පැවරීම සිදු කරයි. අංක 1567 (2006.07.21 දින ලියාපදිංචි අංක න්‍152/126 බදුල්ල) දරන ඔප්පුවේ උප ලේඛන ගත වනාන්තර ඉඩම් මේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන සමාගමේ ආයෝජකයා වන ඇමෙරිකාවේ පදිංචි වාසු රාසයියා නැමැත්තා ලබාගෙන ඇත්තේ ද එලෙස පැවරූ පුද්ගලයකුගෙනි. මේ ව්‍යාපෘතිය පිටුපස සිටින ප‍්‍රධාන දේශපාලන හස්තය වි. ජ. මු. ලොකු බණ්ඩාර මහතා ගේ පුත් හපුතලේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා ය. මීට අමතර ව බණ්ඩාරවෙල ප‍්‍රධාන ව්‍යාපාරිකයකු ගේ පුත‍්‍රයකු හා හල්දුම්මුල්ල ප‍්‍රදේශයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු මේ වනාන්තර ඉඩම් කොල්ලය හා ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ ව සිටී. මේ දේශපාලන හා නිලධාරී සම්බන්ධය හේතුවෙන් පාරිසරික අනපනත් තුට්ටුවකට මායිම් නොකර මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට තිබේ.

මේ කි‍්‍රයා දිගින් දිගටම සිදු වුවහොත් මේ ප‍්‍රදේශවල ජනතාව දැවැන්ත ජල හිඟයකට මුහුණ දීමටත් තම උපන් බිමේ අනාථයින් බවට පත් වීමත් සිදු වනු ඇත.

මේ සියළු ඉඩම් කොල්ලයන් සිදු කරන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, ජාතික පාරිසරික පනත, වන සංරක්ෂණ ආඥා පනත, රජයේ ඉඩම් ආඥ පනත, ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනත යන පාරිසරික හා ඉඩම් අනපනත් සියල්ල උල්ලංගනය කරමිනි.

මෙලෙස බහුජාතික සමාගමක් සඳහා ඉඩම් ලබා දීමට ප‍්‍රථමයෙන් ඒ පිළිබඳව කැබිනට් තීරණයක් ලබා ගැනීම අවශ්‍ය වන අතර, පාර්ලිමේන්තුවෙන් මෙම ඉඩම් ලබා දීම පිළිබඳව අනුමැතිය ද අවශ්‍ය වේ. එපමණක් නොව දිස්ති‍්‍රක් ඉඩම් පරිහරණ කමිටුවේ නිර්දේශ හා සියලූම රාජ්‍ය ආයතන වල නිර්දේශ මත පමණක් මෙම ඉඩම් භාවිතයට ලබා ගත හැකි ය. නමුත් රජයට අයත් ඉඩම් අති බහුතරයක් ඩෝල් සමාගම ඇතුළු මේ මහ පරිමාණ සමාගම් හා විවිධ පුද්ගලයින් සතු කරගෙන ඇත්තේ කෙසේ ද යන්න ගැටළුවකි. එ් සියල්ල සිදු කර ඇත්තේ රජයේ ඉඩම් ආඥ පනතේ නීතමය ප‍්‍රතිපාදන උල්ලංඝනය කරමිනි. එපමණක් නොව මේ සියළු මහ පරිමාණ ව්‍යාපෘති සිදු කරන්නේ පාරිසරික බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලිය යටතේ නියමිත අනුමැතිය ලබා ගැනීමකින් පසු ව නොවේ. මේ සියල්ලම නීති විරෝධී ලෙස පවත්වා ගෙන යන වගා බිම් වේ.

මෙනිසා ඌවේ ජනතාව වෙනුවෙන් අප දේශපාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ දැවැන්ත හානි ඇති කරන මේ නීති විරෝධී ඉඩම් කොල්ලය වහාම නතර කිරීමට කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ය. එපමණක් නොව අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ දේශපාලකයන්ට යට නොවී මේ නීති විරෝධී ඉඩම් කොල්ලයට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කර ජතාවගේ පොදු ඉඩම් අයිතිය හා නිදහස් ජීවන පැවැත්ම තහවුරු කර දෙන ලෙස ය. එසේ නොවුනහොත් රොබට් බ‍්‍රව‍්‍රන්රික් පාලන සමයේ දී සිදු කළ හානියට වඩා දැවැන්ත හානියක් ඌවේ ජනතාවට වත්මන් පාලකයන්ගෙන් සිදු විය හැකි ය.

මේ නිසා බුද්ධිමත් ඌවේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රට ගැන සිතන, රටේ සම්පත් ආරක්ෂා කිරීමට කැප වන, රටේ ජනතාවගේ සුබසිද්දිය වෙනුවෙන් කටයුතු කරන දේශපාලකයන්ට පමණක් ඌව පලාත්සභා මැතිවරණයේ දී ඔබේ මනාපය ලබා දී ඌව පලාතේ පමණක් නොව සමස්ථ ශී‍්‍ර ලංකාවේ ම අනාගත පැවැත්ම තහවුරු කරන ලෙස ය.

[සජීව චාමිකර පරිසර සංරක්ෂණ භාරය ]

IMG 281

vivara-fm

vivara-tv

Piya-Luogo

“ මම ජීවත් වෙන්නේ තවත් දවස් 23 යි “

  නොවැම්බර් පළමු වැනිදා මියයාමට  සුදානමින් සිටින තරුණියක් ගැන ඇමරිකාවෙන් වාර්තා වෙයි.29 හැවිරිදි මෙම තරුණිය  බ්‍රිට්නි මේනාර්ඩ් නම් වෙයි.නොවැම්බර් පළමු වැනිදා...