කාලින

pratic10071 කැරැල්ලට සහභාගී වූවෙකු වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දුන් ලංකාවේ තරුණ නැගිටීම් දෙක පිළිබද ඔබේ විග්‍රහය කුමක් ද?

විශේෂයෙන් ම තරුණයින්ට තිබුණු කුල පීඩනය සහ ආර්ථික මෙන්ම අධ්‍යාපන අයිතිවාසිකම් නොලැබී යාම හේතු කොටගෙන ඔවුන් පොදුවේ සමාජ අසාධාරණයට එරෙහිව පෙළ ගස්වන්න ජනතා විමුක්ති පෙරමුණට හැකි වුණා. පළමුව 71 දි ඔවුන් සන්නද්ධ අරගලයකට ගියා. 71 කැරැල්ලේ පිරිස් සිරගතවුවායින් පසුව ඔවුන් ඇතුළේ ඉදන් කණ්ඩායම් වශයෙනුත් තනි තනි වත් මාක්ස්වාදය හැදෑරුවා. භාෂා දැනුම ලබා ගෙන විදෙස් පොත පත පරිශිලනය කරමින් දැනුමින් සන්නද්ධ වුණා. ඔවුන් පක්ෂයට එරෙහිව අභ්‍යන්තර විවේචන ගෙන එමින් සිටියා. ස්වයං විවේචන කරගනිමින් ජ.වි.පෙ. මග පෙන්වීම් වල ඇති දුර්වලතා විග්‍රහ කළා. ඉන් පසුව ඔවුන් තවදුරටත් ජ.වි.පෙ. සමග හිටියෙ නෑ.

එහෙත් ජ.වි.පෙ. පරණ ඉගැන්වීම් වලටම ආකර්ෂණය වු නව තරුණ පිරිසක් ඔවුන්ට එළියෙන් හමුවුණා. විශේෂයෙන් විශ්ව විද්‍යාල තරුණයින් සහ පාසල් වල ඉහළ පංති වල තරුණයින් ඔවුන් වෙත ආකර්ෂණය වුණා. ඔවුනුත් 89 සන්නද්ධ කැරුල්ලකට සහභාගි වුණා.

ඔබ 71 කැරැල්ලට සක්‍රීයව මැදිහත් වීම නිසා රාජ්‍යයේ දැඩි මර්ධන මර්දනයට යාන්ත්‍රණයට ලක්වෙනවා. ඔබට එම රාජ්‍ය  මර්දනය පිළිබදව තිබෙන අත්දැකීම සහ දැන් ඒ පිළිබඳ තිබෙන විග්‍රහය මොන වගේද?

ඔව්. 71 දිත්, ඊටත් වඩා 89 දිත් රාජ්‍ය මර්දනයේ හස්තය ඉතා වියරුවෙන් ක්‍රියා කළා කිව්වොත් හරි. 71 දි අප අත්අඩංගුවට අරන් පාපොච්චාරනණ ලබා ගැනීමේ සිට ඔත්තු ලබා ගැනීම දක්වාත්, දඩුවම් ක්‍රියාවලියේදීත් අපට ඉතා කෲර වධ හිංසනයන්ට ලක්වීමට සිදු වුණා. ඒ වගේ ම කැරැල්ලට සම්බන්ධ වූවන්ගේ පවුල් වල අයට පවා මර්දනයේ පීඩාව අත් වුණා. මගේ අත්දැකීම කිව්වොත් මට වෙඩි වැදී එක්තැන්ව ඉන්නට සිදුවී තිබෙනවා. අත් අඩංගුවට ගැනීමෙන් පසුව පොදුවේ ලැබුණු දඩුවම් වලට මුහුණ දුන්නා. මගේ අම්මා තාත්තා ජීවත්ව සිටි කෑගල්ලේ නිවසටත් තාත්තාගේ බෙහෙත් ශාලාවටත් හමුදාව ගිනි තැබුවා. මගේ දෙමාපියන්ට උන් හිටි තැන් නැති වී ඔවුන් මොරටුවේ ඥාතීන් ගේ නිවෙස් වලට ගිහින් ජීවත් වුණා.

89 දි මර්දනය දැඩි වුණා. තරුණයින් හන්දියක් හන්දියක් ගානෙ පණ පිටින් පිච්චුවා. ඉතා අමානුෂික වධ දීම් කළා.

කැරලි දෙකටම අදාලව මර්දනය පිළිබදව මගේ පොදු අදහස තමයි එය කැරලි අධෛර්ය කර සාමය ආරක්ෂා කිරීමේ වුවමනාව මත පමණක් ක්‍රියාත්මක නොවූ, පළිගැනීම් සහ වධ හිංසනයෙන් සතුටු වීම දක්වා පහත් වුවමනාවන් ඉෂ්ට කළ බව.

 71 කැරැල්ලට සහභාගි වූ ඔබලා 89 ජ.වි.පෙ. සමග ඉන්නෙ නෑ. ඔබලා ජ.වි.පෙ.ට විරුද්ධව කණ්ඩායම්ගත වනවා. ඔබලා සතුව තිබූ මතවාදී පදනම කුමක් ද?

මම කලිනුත් කිව්වා වගේ 71 කැරැල්ලට සහභාගී වී හිරේ වැටුණු අපේ සහෝදරවරුන් අවුරුදු හයක්, හතක්, දහයක් ආදී වශයෙන් හිර ගෙවල් වල ගත කළා. ඔය කාලය අතර තුර අපට වධ හිංසා කළේ මුල් කාලයේ පමණයි. කැරැල්ල මර්දනය කර විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන එළියේ කලබල නතර කලායින් පසුව අපට දඩුවම් වශයෙන් කළේ වැඩ ගැනීම. සමහරු මැහුවා. විවිධ කර්මාන්ත වල යෙදුනා. ඒ අතරතුර විශාල නිදහස් කාලයක් ලැබුණා. අපි ඒ කාලය ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට සහ පොත පත කියවීමටත් කණ්ඩායම් වශයෙන් නව දැනුම සමග විවිධ සාකච්ඡා පැවැත්වීමටත් යොදාගත්තා.

අපේම ඉංග්‍රීසි උගත් සහෝදරයින් බන්ධනාගාර තුළ පංති පැවැත්වුවා. මම හිටියේ වැලිකඩ. කොළඹ මහජන පුස්තකාලයට ලැබෙන පොත් සාමාන්‍ය පාඨකයින්ට නිකුත් කිරිමටත් පෙර හිරගෙදරට ඒවා ලැබුණා. අපි කියෙව්වට පස්සෙ තමයි ඒවා පුස්තකාලෙට දැම්මෙත්. අපි උණු උණුවෙ අලුත් පොත් කියෙව්වා. ශන්මුගදාසන් වැනි අය අපිට දේශපාලන පොත පත සැපයුවා. අපේ සහෝදරවරුන් මාර්ගයෙනුත් විවිධ පොත පත ලැබුණා.

වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත එන වෙනත් බන්ධනාගාර වල රැදවි සොයුරන් මගින් මේ පොත් පත් සටහන් වෙනත් බන්ධනාගාර වෙත යැවීමටත් අප කටයුතු කළා. සහෝදරවරු අලුත් අදහස් පදනම් කරගෙන ලියන්න පටන් ගත්තා. අද  සිටින වික්ටර් අයිවන් ගේ මතවාදය ගැන අපට විවේචන තිබුණත් එදා අප සමග හිරේ හිටපු පොඩි අතුල ගේ වැදගත් දේශපාලන විචාර ඉතාම හර බර වූ බව කිව යුතුයි. ජයදේව උයන්ගොඩ සහ වික්ටර් මෙහි පෙරමුණේ සිටියා. මේ විදියට සහෝදරවරු හිරගෙදර විශ්ව  විද්‍යාලයක් කර ගෙන හැදෑරීම් සහ නව නිවහල් අදහස් සම්ප්‍රදායක්  ගොඩ නැගුවා. අප තුළ පක්ෂය වෙත පොදු විවේචනයක් හටගත්තා පමණක් නොව සැබෑ මාක්ස්- ලෙනින් වාදයට පක්ෂපාතීව නව මතවාදයක් සකස් වුණා. ජ.වි‍.පෙ. විරෝධයක් ඇතිවීම නොවැලැක්විය හැකි වුණා. පොඩි අතුල සහ ජයදේව වැනි අය නම් තවදුරටත් මාක්ස් ව පවා විවේචනය කරමින් ලිබරල් මතවාදයක් කරා ගමන් කළා.

කොහොම වුණත් මේ ආකාරයෙන් අපට තවදුරටත් පක්ෂය සමග සිටීමට නොහැකි වුණා. පක්ෂය අපේ විවේචන භාර නොගත්තා සේ ම, අපේ නව මතවාදයන් වලට එකග වුණෙත් නෑ. පක්ෂය අලුත් පිරිසක් සමග පරණ මාර්ගයේ ම ඉදිරියට ගියා. අප නව මාවතකට පිවිසුණා. අපේ කණ්ඩායම් විවිධ මාවත් ඔස්සේ ඉදිරියට ගියා.

විවිධ කණ්ඩායම් සමූහයක් ක්‍රියාත්මක වුණා. ගාමිණි යාපා ප්‍රමුඛ 'පෙරදිග සුළග' ව්‍යාපාරය, කල්යා නන්දගෙ 'ගිණි පුපුර', ශන්ලගේ 'මාවෝවාදී ව්‍යාපාරය', නිහාල් පෙරේරලගේ දේශ විමුක්ති ව්‍යාපාරය වැනි ව්‍යාපාර සමුහයක් සහ රාජ්‍ය නොවන සංවිධාන සමුහයක් සමග අපේ ස‍හෝදර වරු වැඩ කරන්න පටන් ගත්තා. අප හිටියේ 'ජනතා සංගමය' සමග. එල්.එච්.ආර්.ඩී. සහ එම්.ඩී.ඩී.ආර්. වැනි සාමුහික පවා ඇති වෙන්නෙ ඔය කාලෙදි.

අප වමේ නව කතිකාවතක් බිහිකරන්න උත්සහ කළා. ඔය කියන හැම සංවිධානයකම පොදු ලක්ෂණ කිහිපයක් තිබුණා. හැමෝම සමාජවාදී සමාජයක් වෙනුවෙන් පෙනී සිටපු එකත්, ජ.වි.පෙ. ගමන්මග ප්‍රතික්ෂේප කිරිමත් අතින් මේ කණ්ඩායම් වලට එකට එකතු වී වැඩ කිරිමේ අවකාශයක් තිබුණා. විශේෂයෙන් ම ජ.වි.පෙ. ඒ වන විට ජාතිවාදී මතවාද වෙත තල්ලු වෙමින් සිටියදී අප හැම කණ්ඩායමක් ම ඊට දැඩි විවේචන කරමින් හිටියා.

අප කණ්ඩායම් එක්ව සාකච්ඡා කළා කළ යුත්තේ කුමක් ද යන කාරණාව ගැන. වැල්ලවත්ත රෙදි මෝල ඉදිරිපිට හෝල් එකක තමයි අපේ සාකච්ඡා පැවැත් වුණේ. පැරණි වම නියෝජනය කළ බාහු ලා ‍මෙන් ම නව කණ්ඩායම් ද එක්ව සාකච්ඡා කළා. නමුත් ප්‍රතිඵලයක් ලෙස අප හැම එක්ව යන පොදු ව්‍යාපාරයක් නම් ගොඩනැගුණේ නැහැ.

 දැවැන්ත මර්ධනයකට පසුව 1994 න් පසුව ගොඩනැගෙන ලංකාව ගැන ඔබගේ විග්‍රහය කුමක්ද?


94 කියන්නෙ රටේ වැදගත් දේශපාලන සන්ධිස්ථානයක්. 17 අවුරුදු එක්සත් ජාතික පක්ෂ රජය පෙරළා දැමීම සදහා පොදු පෙරමුණක් සටන් කළ අවස්ථාවක්. ඊට වාමවාදී අපේක්ෂාවක් ද තිබුණා, පසුව ක්‍රියාත්මක නොවුණත්.

විශේෂයෙන් ම පැවති දේශපාලන සමප්‍රධාදාය ‍'වෙනස් කිරිම' වෙනුවෙන් කිසියම් ආකාරයක හෝ හැරවුමක් ලබා ගැනිම වෙනුවෙන් පෙනී සිටි සංවිධාන සහ පක්ෂ 'චන්ද්‍රිකා' බලයට පත්කරනවා. ඒ ජනාධිපතිවරණයේදි. ඉන්පසු මහ මැතිවරණයෙන් ජ.වි.පෙ. පාර්ලිමේන්තු යාමත් වැදගත් වනවා.

එහෙත් පසුව බලන විට 1994 කියන්නේ හැරවුමක් සිදු වුණත් එය අවශ්‍ය දිශාවට වුණේ නැති හැරවුමක් බව කිව යුතු වෙනවා.

 ඉන් පසුව එළබෙන යුගයේදී  මහින්ද රාජපක්ෂ බලය ලබාගැනීම සහ ජාතිවාදය උපරිතලයට පත්වීම යන කාරණාවේදී දෙමළ ජාතිය විශාල පීඩනයකට පත්වෙනවා. මාක්ස්වාදී කතිකාවන් ඇතුලතින් පවා දෙමළ ජනයාගේ නිදහස පිළිබඳ වූ සංවාදය ඉවත් ව යනවා. ඒ අනුව වමේ කණ්ඩායම් ඒ සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරියා කියා ඔබ විශ්වාස කරනවාද?

ඔව්. චන්ද්‍රිකා යුගය නිමා කර මහින්ද රාජපක්ෂ යුගය උදාවන්නෙ ජාතිවාදී ආස්ථානයකින්. හෙළ උරුමය මෙන් ම ජ.වි.පෙ.ත් එම මතවාදය වෙනුවෙන් පෙනී සිටිනවා. හැමදාම වගේ ජ.වි.පෙ. මෙවරත් දේශප්‍රේමය  කියන වචනය වරද්දා ගන්නවා. ඔවුන් දැනුවත්ව දේශප්‍රේමයේ නාමයෙන් ජාතිවාදීව කටයුතු කරනවා. එහි අවසාන ප්‍රතිඵලය ලෙස දෙමළ සිවිල් වැසියන්ට මරණ සහ තුවාල ලබාදී අතපය අහිමිකරමින් සමුල ඝාතනය කරමින් 2009 මැයි වලින් විමුක්ති කොටි සංවිධානය ද ඉවර කරනවා. එහෙත් දෙමළ ජනතාව දශක ගණනාවක් තිස්සේ ඉල්ලන යුක්තිය ඔවුන්ට ලැබෙන්නෙ නැහැ. මම නම් කියන්නෙ  දැන් ඔවුන් තුළ තුවාලය තවත් ඔඩු දුවා ඇති බව.

වමේ සහ සිවිල් සංවිධාන දෙමළ ජනතා‍වගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඇත්තටම පෙනී හිටියා. නමුත් ජාතිවාදීන්ගේ ඝෝෂාවන් අතරේ ඔවුන්ගේ හඩ යටපත් වුණා. ආණ්ඩුව දෙමළ ජනතාවට පමණක් නොවෙයි, ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරපු සිංහලයින්ට සහ සිවිල් සංවිධාන වලට විතරක් නොවෙයි ජාත්‍යන්තර සංවිධාන වලටත් කොටි ලේබල ඇලෙව්වා. පහරදීම්, මරණ තර්ජන, අතුරුදන් කිරීම, පැහැරගැනීම, මරා දැමීම දක්වා මර්දනයේ විධි මෝරා ගියා. ඒ වතාවේ ජාතිවාදයේ නැගිටීම මතවාදීව ජයග්‍රහණය කළා.

දෙමළ ජාතියටත් සාධාරණයක් වන විදියට පොදුවේ සමස්ත රටවැසියාටත් නිදහස මෙන්ම අයිතිවාසිකම් ලැබෙන ක්‍රම වෙනසක් සහ ඊට පෙර  පවත්නා ක්‍රමයේ  වියුහමය පරිවර්තනයක් කර ගැනීම වෙනුවෙන් ඇතිවිය යුතු නව දේශපාලන ප්‍රවණතාව පිළිබද ඔබේ අදහස කුමක්ද?

මම හිතනවා තවදුරටත් අපේ දේශපාලන  න්‍යාය පත්රප වල අංක එකේ සාකච්ඡාව විය යුත්තේ ජාතික ප්‍රශ්ණයට ලබා දෙන දේශපාලන විසදුම පිළිබදවයි. මේ සාකච්ඡාවට කවදාවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වැනි පළ රහිත සාකච්ඡා මේස වලින් විසදුම් ලැබෙයි කියල හිතන්න බැහැ. අනිවාර්යයෙන් ම වමේ සහ විකල්ප කතිකාවන් තුළ ඒ ගැන පැහැදිලි එකගතාවක් ඇතිවී කේවල් සහ අරගල කළ යුතු වෙනවා. මේ දින වල එවැනි සාකච්ඡා පවතිනවා. මමත් සහභාගි වෙනවා. එහෙත් අවාසනාවකට හැමෝම ප්‍රශ්නයක් ඇති බව පිළිගත්තත් ලබා දිය යුතු විසදුම් පිළිබද නොඑකගතා පවතිනවා. අත දිග හැර ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් ලබා දෙන්න වමේ අයත් මැලි වෙනවා.

වමේ කදවුරේ සහ සිවිල් දේශපාලන සංවිධාන වල එකතුවෙන් 'විකල්ප දේශපාලන බලවේගයක්' ඇති වී ක්‍රමයම වෙනස් කළ යුතුව තිබෙනවා. එම සන්ධානගතවීම වඩා පුළුල් ජන පදනමකින් සහ පුළුල් ඥාන පදනමකින් විය යුතුයි.

මේ අතර අප මතවාදීව සන්නද්ධ බලවේගයක් තැනීමත් සමගම රට තුළ විප්ලවීය තත්වයන් තවදුරටත් මෝරා යා යුතුයි. දරුවා බිහිවෙන්න කල් පිරිය යුතුයි. ඒ වගේම අවශ්‍ය තරම් වින්නඹු සේවයක් ද ලබා දිය යුතුයි.

වමේ සාකච්ඡා මේසය මේ වන විට පැවැත්වෙන බව මම කලිනුත් කිව්වා. ඒ කාලෙ වැල්ල වත්ත රෙදිමෝල ඉදිරිපිට හෝල් ‍එකේදිත් අපි වමේ සාකච්ඡාවක් අරගෙන ගිය බව මම කලිනුත් කිව්වනෙ. ඒ සාකච්ඡා නම්  සාකච්ඡාවලට කාලය ගත කිරීමෙන් ම නිමා වුණා. මෙවර ‍එසේ නොවේවා කියල මම ප්‍රර්ථනා කරනවා.

උපුටා ගැනුම යුක්තිය

vivara-tv

vivara-fm

දින 17 ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාව බේ…

දින 17 ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාව බේරාගනියි

බංගලාදේශයේ ධකා නුවර මීට දින 17 කළින් කඩා වැටුනු ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාවක් ගලවා ගැනීමට එරට සහන සේවකයින්ට අද හැකිවු බව විදෙස් සේවා වාර්ථා කරයි.දින 17 පුරා සුන්බුන් අතර සිරවී... Read more

Reply

සම අයිතිය ව්‍යාපාරය 2013 මාර්තු 24 වෙරෝනා

ඉල් විරුවන් අශිෂ්ඨත්වය කරා යමින් තිබූ සමාජය වඩා යහපත් සමාජවාදී සමාජයක් කරා යොමු කිරීම වෙනුවෙන් දිවි පිදූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 23 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින් පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය නොවැම්බර් මස 25වැනි ඉරිදා 23වැනි ඉල් මහ විරු සමරුව පවත්වනු ලැබීය . රෝමයේ වෙසෙන පෙ.ස.ප සාමාජිකයින් හා හිතවතුන් ඊට සහභාගිවූ අතර 23වන ඉල් සමරුවේ ප‍්‍රධාන දේශනය පෙ.ස.ප ප‍්‍රචාරක ලේඛම්  පුබුදු ජයාගොඩ මහතා skype තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.

ලලිත් සහ කුගන්  දෙදෙනා පැහැර ගැනීමත් පොදුවේ රට තුළ සිදු වන පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් ආදිය පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වාර්තා වැඩසටහන

ජර්මනියේ නාසිවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රම වත්මන් රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටින බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පෙරටුගාමී සාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහෝදරයා සමඟ 2012.09.23 දින සිදුකළ "දැක්ම" දේශපාලන සංවාදය