උතුර සහ නැගෙනහිර එක්‌ කිරීම යනු රට බෙදීමයි

 

Sri-lanka-Provinceඑක්‌ රටක්‌ තවත් රටකින් වෙන්කර හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධානතම කොන්දේසිය වන්නේ නිශ්චිත භූමියක්‌ පැවතීමයි. එම කොන්දේසියට එම භූමියේ නිශ්චිත ජනතාවක්‌ ජීවත්වීම, ආර්ථිකයක්‌ පැවතීම, ස්‌වාධිපත්‍යය පැවතීම යන කරුණු කාරණා එක්‌වූ විට එම රට අනෙකුත් රටවලින් අනන්‍ය වූ රටක්‌ ලෙස හඳුනාගත හැක.

ඒ අනුව මේ මොහොත වන විට ශ්‍රී ලංකාව නමින් හඳුන්වන භූමිය තුළ ද වෙනම රාජ්‍යයක්‌ බිහි කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සපුරාගත යුතු ප්‍රධානතම කොන්දේසිය වන්නේ නිශ්චිත භූමියක්‌ සපයා ගැනීමයි. අප මාතෘ භූමිය බෙදා වෙන්කර දෙමළ ඊළම නමින් වෙනම රටක්‌ නිර්මාණය කිරීම සඳහා කටයුතු කරමින් සිටින දෙමළ ජාතිවාදී පිරිස්‌ ද පසුගිය දශක කිහිපය පුරාම ඒ සඳහා කටයුතු කරමින් සිටිති. දෙමළ ඊළමක්‌ බිහි කිරීම සඳහා කටයුතු කරන එම පුද්ගලයන් ඒ සඳහා තෝරාගත් නිශ්චිත භූමිය වන්නේ උතුර සහ නැගෙනහිර යන දෙපළාත ඇතුළුව ඒ හා බැඳුණු තවත් ප්‍රදේශයන්ය. කොටි සංවිධානයේ හිටපු නායකයා වූ ප්‍රභාකරන් ගොවි ජනපද ව්‍යාපාර යටතේ සිංහල ජනතාව යළි පදිංචි කරන ලද (රජරට රාජධානිය බිඳ වැටීමෙන් පසු) ප්‍රදේශයන් ද තම ඊළාම් සිතියමට ඇතුළත් කරගැනීමට උත්සාහ දරා ඇතත් මෙරට ඉන්දීය මහ කොමසාරිස්‌වරයා ලෙස කටයුතු කළ ෙ-. එන්. ඩික්‌සිත් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක්‌ දක්‌වා නැත. කෙසේ වුවත් අවසානයේදී ඉන්දියාව උතුර සහ නැගෙනහිර යන ප්‍රදේශයන් දෙමළ ජනතාවගේ නිජභූමිය ලෙස ඉන්දු-ලංකා ගිවිසුම මගින් පිළිගෙන ඇත. එසේ වුවත් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ බලවත් ඉල්ලීම හේතුවෙන් ඒ සඳහා නැගෙනහිර පළාත තුළ උතුර හා එක්‌වීමට කැමති ද යන්න විමසීම සඳහා ජනමත විචාරණයක්‌ පැවැත්වීමට ඉන්දියාවට එකඟවීමට සිදුවී ඇති බව පෙනේ. එම ජනමත විචාරණය පැවැත්වීමේ දිනය දිගින් දිගටම කල්ගිය බැවින් අවසානයේදී ඒකාබද්ධ කර තිබූ උතුර සහ නැගෙනහිර යන දෙපළාත අධිකරණ තීන්දුවක්‌ මගින් බෙදා වෙන් කිරීමට සිදු විය. එසේ වුවත් ඉන්දියානු මැදිහත්වීම මත 78 II වැනි ජනරජ ව්‍යවස්‌ථාවට එක්‌ කරන ලද එක්‌ පළාතකට තවත් පළාතක්‌ හා එක්‌විය හැකිය යන ව්‍යවස්‌ථාව පවතී. එම ව්‍යවස්‌ථා සංශෝධනය මෙරට ජනතාවගේ කැමැත්ත මත ව්‍යවස්‌ථාවට එක්‌ කරන ලද අංගයක්‌ නොවන අතර ඉන්දියාව බලපෑම් කර අපගේ ව්‍යවස්‌ථාවට එක්‌ කරන ලද අංගයක්‌ බව යළි යළිත් සඳහන් කළ යුතුව ඇත.

ඒ එම ව්‍යවස්‌ථා සංශෝධනයේ එල්ලී යළිත් උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කර දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික කොන්දේසි සපුරා ගැනීමට ඒ වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයන් කටයුතු කරමින් සිටිති. ඒ බව යළිත් සනාථ වූයේ පසුගිය 08 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා දැක්‌වූ අදහස්‌ මගිනි. එහිදී එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කර තිබුණේ උතුර සහ නැගෙනහිර යන දෙපළාත ඒකාබද්ධ කළ යුතු බවත්, එම දෙපළාත ඒකාබද්ධ කිරීම මගින් වෙනම රාජ්‍යයක්‌ හෝ ඊළාම් රාජ්‍යයක්‌ බිහිවන බව චෝදනා කිරීම පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරයක්‌ වන බවත් දන්වා ඇති ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, එම දෙපළාත ඒකාබද්ධ කරන ලෙස ඉල්ලා සිටීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ද අනුකූල වන බවයි.

උතුර සහ නැගෙනහිර යන දෙපළාත යළිත් ඒකාබද්ධ කළ සැණින් සම්පූර්ණයෙන්ම වෙන්වූ වෙනම රටක්‌ නිර්මාණය නොවූවත් එබඳු වෙනම රටක්‌ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මූලික කොන්දේසිය වන නිශ්චිත භූමියක්‌ නිර්මාණය වන බව සඳහන් කළ යුතුය. උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කිරීම යනු අනියමින් නොව නියම ආකාරයෙන්ම උතුර සහ නැගෙනහිර යන දෙපළාත දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජභූමිය ලෙස පිළිගැනීම වේ. එම භූමිය දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජභූමිය ලෙස පිළිගැනීම යනු එම භූමිය සිංහල ජනතාවගේ නිජභූමිය නොවන බව පිළිගැනීමක්‌ ද වන බව සඳහන් කළ යුතුය.

එම කාරණය පමණක්‌ ගෙන සලකා බැලුව ද උතුර සහ නැගෙනහිර යන දෙපළාත ඒකාබද්ධ කිරීම මගින් මෙරට බෙදා වෙන් කිරීමක්‌ සිදුවන බව සඳහන් කළ හැක. එබැවින් උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කිරීම මගින් ඊළාම් රාජ්‍යයක්‌ බිහි වනවා යන චෝදනාව පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක්‌ නොවන බව සඳහන් කළ යුතුව ඇත. බණ්‌ඩාරනායක, චෙල්වනායගම් ගිවිසුම සිට ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට ඉදිරිපත් කළ සෑම ඊනියා විසඳුමකටම සිංහල ජනතාව විරුද්ධ වූයේ එම පදනමේ සිට බව ඒ වෙනුවෙන් පෙනී සිටින සියලු පාර්ශ්වයන් අවබෝධ කරගත යුතුව ඇත.එසේ වුවත් සුමන්තිරන් මහතාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ සිංහල ජනතාවගේ විරෝධය දෙමළ ජාතික සන්ධානයේ නායකයන් අසත්‍යයෙන් ජය ගැනීමට සූදානම් වන බවයි. දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ප්‍රකාශ කරන ආකාරයට උතුර සහ නැගෙනහිර යන පළාත් දෙමළ ජාතිකයන්ගේ ඓතිහාසික නිජභූමිය ලෙස පිළිගත් පසුව සෙසු පළාත් සිංහල ඊළම බවට පත්වීම නොවැළැක්‌විය හැක. ඊළම යනු අතීතයේදී දෙමළ ජනතාව මෙම දිවයින හැඳින්වීමට යොදාගත් නමක්‌ වන බැවින් උතුර සහ නැඟෙනහිර දෙමළ ජනතාවගේ නිජභූමිය ලෙස පිළිගත් පසු සෙසු ප්‍රදේශ නිරායාසයෙන්ම සිංහල ඊළම බවට පත් වේ.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ප්‍රකාශ කළ අදහස්‌ ප්‍රායෝගිකව ක්‍රියාවට නැඟුවහොත් බිහි වන්නේ සිංහල ඊළම සහ දෙමළ ඊළම ඒකාබද්ධ කරන පෙඩරල් රාජ්‍යයකි. එම පෙඩරල් රාජ්‍යය සමහර අංශවලින් බැලූ බැල්මට එකම රටක්‌ ලෙස පෙනී යා හැකි වුවත්, ඒ සිංහල ජනතාව අනාදිමත් කාලයක සිට තම මාතෘ භූමිය ලෙස සලකන රට නොවන බව සඳහන් කළ යුතුය. එබැවින් උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කිරීම මගින් ඊළාම් රාජ්‍යයක්‌ බිහිවන බවට කරන ප්‍රකාශ පදනම් විරහිත බවට සුමන්තිරන් මන්ත්‍රීතුමා කරන ලද ප්‍රකාශය නම් පදනම් විරහිත බව සඳහන් කළ හැක.

සුමන්තිරන් මන්ත්‍රීතුමා කෙසේ සඳහන් කළත් ඓතිහාසිකව උතුර සහ නැගෙනහිර දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ පැවතියාය යන විශ්වාසය මත පදනම් වෙමින් යළිත් එම රාජ්‍යය ගොඩනැඟීම සඳහා දෙමළ බෙදුම්වාදී නායකයන් කටයුතු කරමින් සිටින බව නම් සඳහන් කළ හැක. උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම එහි එක්‌ පියවරක්‌ වන අතර මීළඟ පියවරයන් වන්නේ එම පළාතට ඉඩම් සහ පොලිස්‌ බලතල ලබාගැනීම වේ. ඒ සමග 1995 දී පොදු පෙරමුණ ආණ්‌ඩුව ඉදිරිපත් කළ පැකේජයේ සඳහන් කර තිබූ ආකාරයට වත්මන් ව්‍යවස්‌ථාවේ 76 වැනි වගන්තිය අහෝසි කිරීමට ද ඉදිරියේදී යෝජනා ඉදිරිපත්වනවා ඇත. ඒ සමගම මුළු දිවයිනටම බලපාන ලෙස නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවෙන් අහෝසි වී යැමත් සමග ඉහතින් සඳහන් කළ වෙනම රටක්‌ නිර්මාණය වීමට අවශ්‍ය කොන්දේසි නිර්මාණය වීමත් සමගම දෙමළ ඊළමට අවශ්‍ය සියලු අවශ්‍යතාවන් සම්පූර්ණ කර ගැනීමට හැකි වනවා ඇත.

එහෙත් ප්‍රශ්නය වන්නේ දෙමළ ජාතිවාදීන් පියවරෙන් පියවර දෙමළ ඊළම වෙත පියනඟන තුරු සිංහල ජනතාව බලන් සිටීවිද යන්නය.

ඓතිහාසික මෙරට භූමිය තුළ දෙමළ ඊළමක්‌ පැවතියා නම් දෙමළ බෙදුම්වාදී නායකයන් පළමුවෙන්ම කළ යුතු කාර්යය වන්නේ එය සාධක සහිතව ඔප්පු කිරීමය. දෙමළ බෙදුම්වාදී නායකයන්ට එය කළ හැකි නම් උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කළ පසු දෙමළ ඊළමක්‌ නිර්මාණය නොවන බව ප්‍රකාශ කිරීමට අවශ්‍ය වන්නේ නැත. නිජබිම් ප්‍රශ්නයට ඇති එකම විසඳුම එයයි.

දිවයින ඇසු‍‍රෙන්

එරික්‌ ගාමිණී ජිනප්‍රිය

Add comment


Security code
Refresh

Prev Next